විශ්වාසභංගයට විරුද්ධව සමගි බලවේගයේ දෙන්නකු ඡන්දෙ දෙනවා


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එක් කෙනෙකු හෝ දෙදෙනෙකු යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවැසීය .

වෙන්නේ මොකක් දැයි අද හොඳට බලා බලාගත හැකිවනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

ඇමතිවරයා මෙසේ පැවසුවේ පැවසුවේ අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදීය.

ඡන්ද 155 ට වැඩි බහුතරයකින් විශ්වාසභංග යෝජනාව ජයගන්නා බවද අලුත්ගමගේ මහතා කීවේය.

සමගි ජන බලවේගය මෙම විශ්වාසභංගය ඉදිරිපත් කළේ ආණ්ඩුව ඇතුළේ පිපිරීමක් බලාපොරොත්තුවෙන් බවත් විශ්වාසභංගය හේතුවෙන් ආණ්ඩුව තුනට හතරට කැඩේවි යැයි ඔවුන් විශ්වාස කළ බවත් ඔහු පැවසුවේය.

ඒ වගේම විශ්වාසභංගය තුළ ආණ්ඩුවේ බහුතරය නැති වේවි යැයි සමගි ජන බලවේගය විශ්වාස කළ බව පැවසූ කෘෂිකර්ම ඇමැතිවරයා මේ අය මේ විශ්වාස භංගය ගෙනාවේ මිනිසුන්ගේ බදු බර ,බඩු මිල ගැන සිතා නොවන බවද ප්‍රකාශ කළේය.

මේ රටේ ආර්ථිකය විනාශ කරපු අය අද ආර්ථිකය ගැන කතා කරන බවත් ඔබලාට රටේ ආර්ථිකය ගැන කතා කිරීමට කිසිම අයිතියක් නැති බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.