(ඩයනා උදයංගනී)
අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව පරාජය වුවහොත් ඉන් ඉදිරියට සම්මුතිවාදී රජය පවතින්නේ නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
මෙම විශ්වාසභංගයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ජයග‍්‍රහණය කළහොත් ඒ පිළිබඳ පාර්ලිමේන්තු තීන්දුව ලැබෙන අප්‍රේල් 04 වැනිදා රාත‍්‍රී 9.00 ට සම්මුතිවාදී ආණ්ඩුවද අවසන් කළ යුතුය යන්න ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කණ්ඩායමේ ස්ථාවරය වී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
සම්මුතිවාදී ආණ්ඩුව ආරක්‍ෂා කළ යුතු නම් අගමැතිවරයා ජනතාව හා රට ගැන සිතා 4 වැනිදාට පෙර තීන්දුවක් ගත යුතුයැයිද ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී.ල.නි.ප මූලස්ථානයේදී අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවී විශ්වාසභංගය සම්බන්ධයෙන් ඊයේ (29 ) රාත‍්‍රියේ සාකච්ඡාවක් කර ඇති බව ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබුණත් එය සම්පූර්ණ අසත්‍යයක් බව ද ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා කීවේය.
මෙවැනි කිසිඳු හමුවක් සිදු නොවූ බව ජනාධිපති මාධ්‍ය තමන්ට දැනුම් දුන් බව රාජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.
මෙවන් අසත්‍ය ප‍්‍රවෘත්ති පතුරවන්නේ ඡන්දය ගැන විශ්වාසයක් නැති අය බව කී අබේවර්ධන මහතා කිසිම දේශපාලන පක්‍ෂයක් තවම විශ්වාසභංගය පිළිබඳ ස්ථාවරය පළ කර නැතැයිද කීවේය.