(විනීතා එම් ගමගේ)
විශ්වාසභංග යෝජනාව අවුරුදු පසුවන තුරු කල් දමා ගැනීම සඳහා ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුවේ දී කළබල ඇති කිරීමට සුදානමක් ඇතැයි වාර්තා වන බව පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
එබැවින් පාර්ලිමේන්තුවේ දී ඉවසලා ඉවසලා බැරිම තැන තවත් ඉවසන්නැයි ඒකාබද්ධයේ මන්ත‍්‍රීවරුන්ට උපදෙස් දී ඇතැයි ද ඔහු සඳහන් කළේය.
අගමැතිවරයාට මන්ත‍්‍රීවරුන් 120 කගේ සහය පළවී ඇති බවට නාමලේඛනයක් ඇතැයි පවසන නමුත් මේ වනතුරුත් එය හෙළි කර නැත්තේ මන්දැයි ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රශ්න කරන බව ද හෙතෙම කියා සිටියේය.
මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ පිටකෝට්ටේ පිහිටි එම පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තව දුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා මෙසේ ද කීය.
අපි දැක්කා එක්සත් ජාතික පක්ෂයේ නියොජ්‍ය ප‍්‍රධාන ලේකම්තුමන් ඇතුළු මන්ත‍්‍රිවරුන් ගණනාවක් විශ්වාස භංග යෝජනාව පහසුවෙන්ම පරදවන බවටත්, ඔවුන් සමග මන්ත‍්‍රිවරුන් 120 ට වඩා වැඩි පිරිසකගේ සහය තිබෙන බවටත් කටමැත දොඩවනවා. ඔවුන් එසේ කටමැත දෙඩෙව්වත් අගමැතිතුමන්ට සහය පළ කිරීමේ ලියවිල්ලට අත්සන් කර ඇත්තේ මන්ත‍්‍රීවරුන් 78 පමණයි. ඒ නිසා තමයි මේ ළියවිල්ල තවමත් රහසිගත ලියවිල්ලක් බවට පත්වෙලා තිබෙන්නේ.
අපේ විශ්වාස භංග යෝජනාව අත්සන් කළ වහාම ඒ අත්සන් නම් සහිත ලේඛනය අපි මාධ්‍යවලට නිදහස් කළා. අන්න ඒ වගේ අගමැතිට සහය පල කිරීමේ ලියවිල්ල ප‍්‍රසිද්ධ කරන්න කියා අපි එජාපයට අභියෝග කරනවා. ඒක ප‍්‍රසිද්ධ කරන්නේ නෑ නොවේ. ප‍්‍රසිද්ධ කරන්න බෑ. ඒක ප‍්‍රසිද්ධ කළොත් අගමැතිගේ සහයට ඉන්නේ 78 ක් පමණයි කියන එක රටම දැන ගන්නවා.
පක්ෂ බව කලින් හෙලිවීම අවාසි නිසා, අගමැතිට සහය පල කළ යෝජනාවට අත්සන් කළ මන්ත‍්‍රීවරුත් ඉන්නවා. එජාපය පැවසුවේ ඔවුන්ට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් දස දෙනෙක්ගේ සහය තමන්ට ලැබෙන බවයි.
නමුත් ඊයේ ශ‍්‍රීලනිපය ඒකමතිකව තීරණය කළා විශ්වාස භංගයට පක්ෂ වෙන්න. ඒක අපිවත් බලාපොරොත්තු නොවුණු දෙයක්. අපි හිතුවේ අඩුම ගණනේ ඇමතිවරුන් දෙදෙනෙකුවත් විශ්වාසභංගයට එරෙහිව කටයුතු කරාවි කියලා. මේ වන තුරු ආණ්ඩුවේ ඉන්න කිසිම පක්ෂයක් අගමැති රැක ගන්න ඉදිරිපත් වෙලා නෑ. රනිල් මැතිඳු අද තනි වී වෙල මැද්දේ කියලා තමයි අපට කියන්න වෙන්නේ.