විශ්වාස භංගය ගැන කතා කරන්න එජාප ඇමැතිවරු හෙටත් ජනපති හමුවෙති


‍අංජුල මහීක වීරරත්න
 
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් හෙට දිනයේදීත් යළි හමුවී සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පක්ෂ කැබිනට් අමාත්‍යවරුන් අතර අද රාත්‍රී පැවැති සාකච්ඡාවේදී එකඟත්වයක් ඇතිවී තිබේ.

 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා එක්සත් ජාතික පක්ෂ කැබිනට් අමාත්‍යවරුන් අතර සාකච්ඡාව පැවැතියේ කොළඹ හත මලලසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවසේදීය.
 
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් අනුගමනය කරන පියවරයන් පිළිබඳව මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ කැබිනට් අමාත්‍යවරු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියහ.
 
විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව ඉදිරිපත් කර තිබෙන මත පිළිබඳව ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ කැබිනට් ඇමැතිවරුන්ට කරුණු ප්‍රකාශ කර තිබේ. තවත් පාර්ශ්ව කිහිපයක් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු හෙට දිනයේදීත් එක්සත් ජාතික පක්ෂ කැබිනට් අමාත්‍යවරුන් හමුවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
 
ජාතික රජය ඉදිරියටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පවතින අලුත් වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ද මෙහිදී විමසීමක් කළ බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.  ජනපති සමඟ පැවැත්වූ සාකච්ඡාව ධනාත්මක මට්ටමක පැවැති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.