විශ්ව විද්‍යාල ආචාර්යවරු අධ්‍යාපනය ගැන මහජන කොමිසමක් ඉල්ලති


තරිඳු ජයවර්ධන

අධ්‍යාපනය පිළිබඳව ඇති ඉල්ලීම් සහ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය මුහුණ පා ඇති අර්බුධය පිළිබඳව ගැඹුරින් සලකා බැලීමට අධ්‍යාපනය පිළිබඳ මහජන කොමිසමක් ස්ථාපිත කිරන ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරු පිරිසක් ඉල්ලා සිටිති.
 
සයිටම් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති යෝජනාවලියේ තරයේ ප්‍රතික්ෂේප කරන මෙම ආචාර්යවරුන් ඉල්ලා සිටිනේ පාසල් සහ උසස් අධ්‍යාපනය පෞද්ගලිකරණය සඳහා ගෙන ඇති සියලු ක්‍රියාමාර්ග නවත්වන ලෙසයි.
 
විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් 74 දෙනකුගේ අත්සනින් විවෘත සංදේශයක් ඉදිරිපත් කරමින් ඔවුහු මෙම ඉල්ලීම් කරති.
 
සයිටම් යළි ප්‍රතිෂ්ඨාපනය කරමින් අලුතින් සිසුන් බඳවා ගැනීමට ආයතනයක් පිහිටුවීමේ සැලැස්ම අත්හරින ලෙස ද මෙම විශ්ව විද්‍යාල ආචාර්යවරු රජයට බල කර සිටිති. නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරනවා වෙනුවට අධ්‍යාපනය පෞද්ගලිකරණය අධ්‍යාපන ප්‍රතිපත්තිය ලෙස විවෘතව ප්‍රකාශ කරන පළමු ආණ්ඩුව මෙය බව ද ඔවුහු සඳහන කරති.