
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා විවාහක රූ රැජින අවසන් තරගාවලිය කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී ඊයේ (4) රාත්‍රියේ පැවති අතර එහිදී ජයග්‍රාහිකාව ලෙස නම් කෙරුණු පුෂ්පිකා ද සිල්වා මහත්මියට එම කිරුළ විනාඩි කිහිපයක් තුළ අහිමිවීම නිසා එහි දැඩි නොසන්සුන් තත්ත්වයක් ද ඇතිවිය.
තරඟය අවසානයේ අංක 20 යටතේ තරඟකළ පුෂ්පිකා ද සිල්වා මහත්මිය ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත්කෙරුණු අතර ඇයට කිරුළ පළඳවනු ලැබුවේ ශිරාන්ති රාජපක්ෂ, කොළඹ පුරපතිනි මෙන්ම ලෝක විවාහක රූ රැජිණක් ද වන රෝසි සේනානායක මහත්මීන් සහ සහ චන්දිමාල් ජයසිංහ මහතා විසිනි.
කිරුළ පැළඳ වූ පිරිස වේදිකාවෙන් පිටව ගොස් නව රූ රැජින ජයග්‍රාහී ගමනේ යෙදී සිටියදී, වර්තමාන ශ්‍රී ලංකා සහ ලෝක විවාහක රූ රැජින ද වන කැරොලයින් ජූරි වේදිකාවට නැග ප්‍රකාශ කළේ ජයග්‍රාහිකාව වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය දික්කසාද වූ තැනැත්තියක් බවත් ඇය විවාහක රූ රැජින කිරුළ දිනා ගැනීමට සුදුසුකම් නොලබන බවත්ය.
එසේ ප්‍රකාශ කළ කැරොලින් ජූරි මහත්මිය ඉන්පසු තරඟයේ ජයග්‍රාහිකාව ලෙස අනුශූරතාවය ලබාගත් තරගකාරිය ප්‍රකාශයට පත් කළාය.
අනතුරුව ඇය පුෂ්පිකා ද සිල්වා මහත්මිය අසලට ගොස් ඇය පැළඳ සිට කිරුළ ගලවා නව ජයග්‍රාහිකාවගේ හිසෙහි පැළඳවූ අතර පුෂ්පිකා ද සිල්වා මහත්මිය නිහඬව වේදිකාවෙන් ඉවත් වූවාය.
නිරූපණ ශිල්පිනියක් වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය 2011 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කරගනිමින් ලෝක රූ රැජිණ තරඟාවලියට ද ඉදිරිපත් වූ අතර ඇය එක්දරු මවකි.






