විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර


(යොහාන් භාසුර)

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අනුර කුමාර දිසානායක මහතා පළමු වරට පසුගිය ජනවාරි මස 9 වැනිදා රූපවාහිනී වැඩසටහනකදී රටේ සංවර්ධන මාවත පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා සමග විවාදයකට සූදානම් බව පැවසූ බවත් මේ වන විට එම විවාදය පිළිබඳ වැරදි සහගත තොරතුරු ඇතැම් පුද්ගලයින් සමාජ ගත කිරීමට උත්සාහ දරමින් සිටින බවත් ජයතිස්ස මහතා කියයි.

රට වැටී ඇති සමස්ත අර්බුදයෙන් ගොඩගැනීමේ මාවත පිළිබඳ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ විවාදයට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සූදානම් බවත් යම් හෙයකින් එවැනි විවාදයකට සමගි ජන බලවේගය සූදානම් නොමැතිනම් සහ එවැන්නක් නොපැවැත්වෙන්නේ නම් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලය, සමගි ජන බලවේගයේ ඒ හා සමාන නියෝජනයක් දරන කණ්ඩායමක් සමග විවාදයක් පැවැත්වීමට සූදානම් බවත් ඒ මහතා කියයි.

විවාදය පිළිබඳ අසත්‍ය තොරතුරු සමාජගත කිරීමෙන් වළකින ලෙස සමගි ජන බලවේගයට සම්බන්ධ සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටින අතර ඔවුන්ගේ අසත්‍ය තොරතුරුවලින් නොමඟ නොයන ලෙසත් සත්‍ය තත්වය නිවැරදිව තේරුම් ගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩි දුරටත් කීය.