විල්පත්තුව රැක ගැනීමට කලාකරුවෝ පෙරට එති


(විනීතා එම්. ගමගේ)

විල්පත්තු වනාන්තරයේ සිදුවන මහා වන සංහාරය නවතා දැනට ඉතිරි වී ඇති වනාන්තර ප‍්‍රමාණය පමණක්වත් රැක ගැනීමට ජාති ආගම් භේද වලින් තොරව සියලූ මට්ටම්වල ජනතාව එක් විය යුතු යැයි ප‍්‍රවීන රංගධර රවීන්ද්‍ර රන්දෙණිය මහතා ප‍්‍රකාශ කළේය.

මේ වනවිටත් විල්පත්තු ප‍්‍රධාන වනාන්තරයට අත තබා නැති බව සැබෑ නමුත් එහි ආරක්ෂාව වෙනුවෙන් ඇති අධි ආරක්ෂිත වනාන්තර අවසන් වෙමින් පවතින්නේ යැයි ද රන්දෙණිය මහතා කීය.

පරිසරය වෙනුවෙන් පෙනී සිටින විට ජාතිය, සංස්කෘතිය, භාෂාව යන සියල්ල පරිසරයම පමණක් යැයි කී රන්දෙණිය මහතා මේ මහා විනාශයට එරෙහිව කොන්දේසි විරහිතව පෙනී සිටින්නේ යැයි ද ඔහු කීවේය.

රන්දෙණිය මහතා මේ අදහස් පළ කළේ ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන මණ්ඩල ශ‍්‍රවනාගාරයේ අද(13) පැවැති විල්පත්තුව වෙනුවෙන් අපි සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

රංගන ශිල්පීන් වන ශ්‍රියන්ත මෙන්ඩිස්, සඳුන් විජේසිරි, දුලිකා මාරපන, ලාල් කුලරත්න, අජිත් ලොකුගේ, රුවන් වික‍්‍රමසිංහ, කුමාර රණේපුර සහ ඉසුර ගිල්ෂාන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.