( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි විලත්තිකුලම් වනාන්තර කලාපය එළිකොට අනවසර ඉදිකිරීම් සිදුකිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කර ඇති පෙත්සම ජුනි මස 28 වැනිදා විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය අද (22) දින නියම කර ඇත.
මෙම පෙත්සම අද (22) අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා තමන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වමින් මෙම නඩුවේ 4වන වගඋත්තරකරු ලෙස නම් කර සිටින අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා විසින් මෙම රක්ෂිත වනාන්තර කලාපය අඛණ්ඩව හෙළි කරමින් සිටින බව දැනුම් දුන්නේය.
ඒ අනුව කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම් විභාගය ජුනි මස 28 වනදා පැවැත්වීමට අභියාචනාධිකරණය දින නියම කරන ලදී.
මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ පරිසරවේදියකු හා හිටපු පුවත්පත් කර්තෘවරයකු වන මලින්ද සෙනෙවිරත්න සහ නාගානන්ද කොඩිතුවක්කු යන අය විසිනි.
විල්පත්තුවේ තිබූ වනාන්තර කලාපය එළි පෙහෙළි කර අනවසර ඉදිකිරීම් හේතුවෙන් විශාල පාරිසරික අගතියක් සිදුව ඇති බව පෙත්සම්කරුවෝ පවසති.
එබැවින් අදාළ වනාන්තර හෙළි කර අනවසර ඉදිකිරීම් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

