විල්පත්තුව එදා ජනාකීර්ණ නගරයක්


විල්පත්තු වනෝද්‍යානයේ බෞද්ධ ස්මාරක සියයක් පමණ සංරක්‍ෂණය කරන බව වයඹ කලාපය බාර වන ජීවි අධ්‍යක්‍ෂක ඩබ්ලිව්.එම්. වේරගොඩ මහතා පවසයි. ප‍්‍රාග් ඓතිහාසික යුගයේ පුරා විද්‍යා සාධකද එහි ඇතැයි ඉතිහාසඥයෝ කියති. ඉපැරණි සොහොන්, ගරාවැටුණු ස්ථූප, කුවේණි මාලිගා නටබුන්, ඉපැරැණි මගන වරාය. ආදියෙන් පෙනෙනුයේ ඈත අතීතයේ ලොව නගර හා වරායන් සමග එදා විල්පත්තුව බෞද්ධ වෙහෙර විහාරවලින් පිරුණ ප‍්‍රදේශයක් වන්නට ඇති බවයි. එහි ගල්ලෙනක චතුදිස අගස...... යනුවෙන් බ‍්‍රාහ්මි අක්ෂරයෙන් සඳහන් වනුයේ සතර දිගින් වඩින මහා සංඝරත්නයට එම ලෙන පූජා කළ බවයැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එල්ලාවල මේධානන්ද හිමියෝ එහි ගිය වනජීවි ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතාට පැහැදිලි කළහ.