විරෝධතාවක් හේතුවෙන් කොළඹ නුවර අධිවේගී මඟේ වැඩ නවතී


( පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොළඹ  මහනුවර  අධිවේගී  මාර්ගයේ ඉදිකිරීමේ  කටයුතු වෙනුවෙන් යොදාගන්නා බර වාහන ගමනා ගමනය හේතුවෙන් විනාශයට පත් මීරිගම මදුරුපිටිය ප‍්‍රදේශයේ ග‍්‍රාමීය මාර්ග  සංවර්ධනය කරදෙන ඉල්ලමින් ජනතාව අද ( 30)  දහවල්  විරෝධතාවයක යෙදීම නිසා අධිවේගී මාර්ගයේ ඉදිකිමේ  කටුයතුවලට බාධා ඇති විය.

මදුරුපිටිය ලෝලූවාගොඩ මාර්ගය හා මදුරුපිටිය කෙටේවත්ත මාර්ගයට සිදුව ඇති හානි නිසා ඒවා අලූත්වැඩියා කර දෙන ලෙස ජනතාව මෙහිදී බලධාරීන්ගෙන් ඉල්ලීම් කළහ.

මීරිගම ප‍්‍රාදේශිය සභා මන්තී‍්‍ර සුසන්ත ගජනායක මහතා ඇතුල් පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටි අතර මදුරුපිටිය ප‍්‍රදේශයේ ඉදිකිරීම්වල නිරත ආයතනයේ නිලධාරී  මදුරුපිටිය ලෝලූවාගොඩ මාර්ගයේ අඩුපාඩු ලබන මස 15 වැනිදා සිට අලූත්වැඩියා කරදෙන බවට සදහන් කළහ.

ඓතිහාසික කෙටේවත්ත දේවාලයට යන මදුරුපිටිය මාර්ගය අලූත්වැඩියා කර දීම එම ආයතනයයේ නිලධාරීන් ප‍්‍රතික්ෂේප කළ අතර මාර්ග සංවර්ධන අධිකාරිය ඒ පිළිබදව කටයුතු කළ යුතු බව දැනුම් දුන්හ. 

මෙම මාර්ගය භාවිතා කරන ලද්දේ තම ආයතනය නොව වෙනත් ආයතනයක් බවද ඔවුහු පැවසූහ.

නමුත් අදාල මාර්ගය අලූත්වැඩියා කරදෙන බවට ගිවිසුමගතව සිටින ආයතනය එය පැහැර හරින බවට චෝදනා කළ ජනතාව විරෝධතාවයේ යෙදීම නිසා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සදහා භාණ්ඩ ප‍්‍රවාහනය කරන ට‍්‍රක් රථ ගමන් කරවීමට බාධා වීම නිසා සැපයුම් මාර්ග දෙපස පෝලිමට නවතා දැමීමට සිදුවිය.

මීරිගම පොලිසියේ නිලධාරීන් පැමිණ සාකච්ඡා කර අදාල නිලධාරීන් කැඳවා සාකච්ඡාවකට අවස්ථාව සැලසීමට පියවර ගන්නා බව පැවසුවත් එම සාකච්ඡාව අධිවේගී මාර්ගය ඉදිකෙරන ස්ථානයේදීම සිදුවිය යුතු බවට ජනතාව ප‍්‍රකාශ කළහ.

මේ තත්ත්වය මත වගකිවයතු නිළධාරීන් කැදවීමට පොලිසිය පියවර ගන්නා බව ප‍්‍රකාශ කරනු ලැබීය.

  අදාල නිලධාරීන් පැමිනෙන තුරු ගම්වාසීහු අද( 30 ) පස්වරුව දක්වාම විරෝධතාවයේ යෙදී සිටි අතර ඉදිකිරීම් සේවක පිරිස් තැන තැනටවී බලා සිටිනු දැකිය හැකිවිය.