විරෝධතාකරුවන්ට වෙඩි තැබීයැයි පුද්ගලයෙක් රිමාන්ඩ්


(මනෝප‍්‍රිය ගුණසේකර)

බැකෝ යන්ත‍්‍රයක් යොදාගෙන රාගම මත්තුමගල ප‍්‍රදේශයේ කාණුවක් ශූද්ධ පවිත‍්‍ර කිරීමට සම්බන්ධ වු ප‍්‍රදේශවාසීන්ට වෙඩි තබා මීනී මැරීමට තැත් කළැයි කියන සිද්ධියකට අදාළව මාස අටකට පසු අධිකරණයට බාරවු සැකකරුවකු ලබන 21 වැනිදා දක්වා රිමාන්ඞ් බාරයට පත් කිරීමට වත්තල මහෙස්ත‍්‍රාත් පුර්ණිමා පරණගම මහත්මය නියම කළාය.

මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණ හමුවට පමුණුවන ලෙස මහෙස්ත‍්‍රාත්වරිය මීට පෙර අවස්ථා කිහිපයකදී මහබාගේ පොලිසියට නියම කොට තිබුණත් සැකකරු අල්ලා ගැනීමට පොලිසියට නොහැකිවු අතර එසේ තිබියදී සැකකරු නීතීඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට පැමිණ බාරවුහ.

නීතීඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට බාරවීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඞ් බාරයට පත් කරන ලද්දේ තිලංග තෙන්නකෝන් නමැත්තෙකි.

මෙම සිද්ධියට අදාළව රාගම මත්තුමගල ප‍්‍රදේශයේ පදිංචි ටී. ඒ. මහානාම නමැත්තා සැකපිට අත්අඩංගුවට ගෙන මීට පෙර අවස්ථාවක ඇප මත මුදාහැර ඇත.

මත්තුමගල ප‍්‍රදේශයේ පදිංචි ජනක සිසිර කුමාර මහතා විසින් 2017 සැප්තැම්බර් මස 17 වැනිදා කරන ලද පැමිණිල්ලකට අදාළව සිදුකරන ලද මෙම සිද්ධියේ පරීක්‍ෂණ වල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් මහබාගේ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් පරීක්‍ෂණ පවත්වමින් සිටියදී මෙම පරීක්‍ෂණය කොළඹ අපරාධ කොට්ඨාශයෙන් සිදුකරන බව එහි අධ්‍යක්‍ෂවරයා තමන්ට දැනුම් දුන්නේ යැයිද මෙම සිද්ධියට සම්බන්ධිත තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ඇතැයිද ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් උපදෙස් ඇයැද ඇතත් මෙතෙක් තමන්ට නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් ලැබී නැතැයි වරක් අධිකරණයට දැනුම් දුන් පොලිසිය ඊට පසු අවස්ථාවකදී සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බස්නාහිර පළාත් බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන්ට දැනුම් දී ඇති බව දැනුම් දුන්නේය.


ඒ අනුව සැකකරු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස මහෙස්ත‍්‍රාත්වරිය ද නියම කළත් සැකකරු පැමිණ අධිකරණයට බාරවනතුරුම ඔහු අල්ලා ගැනීමට පොලිසියට නොහැකි විය.


මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතීඥ බර්නි අල්විස් මහත්මිය කරුණු දක්වමින් තම සේවාදායකයා මෙම වෙඩි තැබීම සිදුකළේ තම ආත්මාරක්‍ෂාවට යැයි කීවාය.