මනෝප්‍රිය ගුණසේකර
ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි, අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 7 1/2කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවකුව සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි වලට අදාළ ලේඛන උපදවා ඇති පරිගණක පරීක්‍ෂා කිරීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විත්ති පාර්ශ්වයට අද අවසන් වශයෙන් දින ලබා දුන්නේය.
මෙම නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නඩුවේ සාක්කි වලට අදාළ ලේඛන උපදවා ඇති පරිගණක පරීක්‍ෂා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස විත්ති පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා ඒ සඳහා අවසන් වශයෙන් දින ලබා දුන්නේය.
මෙම නඩුව ලබන නොවැම්බර් මස 02 වැනිදා කැඳවීමටද නියම කළේය.
මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
2009 වසරේ සිට 2014 වසර දක්වා වු වසර හයක කාලය තුළදී විත්තිකාර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා රුපියල් කෝටි හත හමාරකට ආසන්න මුදල් හා දේපළ උපයාගෙන ඇති බව අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ චෝදනා පත‍්‍රයේ සඳහන් වේ.
2009 ජනවාරී මස පළමු වැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලය තුළදී සිය නීත්‍යානුකූල වත්කම් හා ලැබීම් වලින් උපයාගත නොහැකි රුපියල් 744,80,017/- මුදල් හා දේපළ උපයාගෙන ඇති බවත් එම මුදල් හා දේපළ උපයාගෙන ඇත්තේ අල්ලස් වලින් බවත් අධිචෝදනා පත‍්‍රයේ වැඩිදුරටත් සඳහන් කොට ඇත.
මුදල් උපයාගෙන ඇති ආකාරය හා දේපළ උපයාගෙන ඇති ආකාරය දැක්වෙන උපගොනු දෙකක්ද අධිචෝදනා පත‍්‍රය සමඟ අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.
ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා අදාළ නියෝගය නිකුත් කළ අතර මෙම නඩුව ලබන නොවැම්බර්මස 02 වැනිදා කැඳවීමට ද එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුට ද නියම කළේය.