(මනෝප‍්‍රිය ගුණසේකර)
ඇමැතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි හැත්තෑ එකකට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවකුව සිටි බවට චෝදනා කරමින් විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ බැංකු ගිණුම් වාර්තාවල නිවරද්‍යභාවය පරීක්‍ෂා කිරීමට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා එම නඩුව ලබන මාර්තු මස 27 වැනිදා තෙක් කල් තැබීය.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්ති පාර්ශ්වයෙන් කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
2009 වසරේ සිට 2014 වසර දක්වා වූ වසර හයක කාලය තුළදී විත්තිකාර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා රුපියල් කෝටි හැත්තෑ එකකට ආසන්න මුදල් හා දේපළ උපයාගෙන ඇති බව අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ චෝදනා පත‍්‍රයේ සඳහන් වේ.
2009 ජනවාරී මස පළමු වැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලය තුළදී සිය නීත්‍යානුකූල වත්කම් හා ලැබීම් වලින් උපයාගත නොහැකි රුපියල් 74,480,017 මුදල් හා දේපළ උපයාගෙන ඇති බවත් එම මුදල් හා දේපළ උපයාගෙන ඇත්තේ අල්ලස් වලින් බවත් අධිචෝදනා පත‍්‍රයේ වැඩිදුරටත් සඳහන් කොට ඇත.
මුදල් උපයාගෙන ඇති ආකාරය හා දේපළ උපයාගෙන ඇති ආකාරය දැක්වෙන උපගොනු දෙකක්ද අධිචෝදනා පත‍්‍රය සමඟ අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයාගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් ඉදිරිපත් කොට ඇති වාර්තා වල නිවරද්‍යභාවය පරීක්‍ෂා කිරීමට අවශ්‍ය හෙයින් ඒ සඳහා අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.
විනිසුරුවරයා එම නඩුව ලබන මාර්තු මස 27 වැනිදා තෙක් කල් තැබීය.
ඉදිරිපත් වූ කරුණු සළකා බලමින් ඊට අවසර දුන් විනිසුරුවරයා මෙම නඩුව ලබන මාර්තු මස 27 වැනිදා කැඳවීමට නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සුනේත‍්‍රා ජයසිංහ මහත්මිය පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා පෙනී සිටියේය.