විභාග වැටඩ විශ්‍රාමික හමුදා නිලධාරීන් ගැනීමට විරෝධය


(නිමල කොඩිතුවක්කු)


ජාතික විභාග පැවැත්වීමේදී විභාග ශාලාවල විශ‍්‍රාමික හමුදා නිලධාරියෙකු යෙදවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවට ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පැවසීය.


ජාතික විභාග කටයුතු සඳහා විභාග ශාලාවලට හමුදා නිලධාරීන් හෝ අධ්‍යාපන  ක්ෂේත‍්‍රයෙන් පරිබාහිර වෙනත් නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් තම සංගමය දැඩි විරෝධය පළ කරන බවත් එම තීරණය වහා  නතර කරන ලෙසට විභාග කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු කියා සිටියේය.


එළඹෙන අගෝස්තු මස පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගයේදී විභාග වංචා වැළැක්වීමට යයි පවසා මෙසේ විභාග ශාලාවලට විශ‍්‍රාමික හමුදා නිලධාරීන් යෙදවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන බවත්  මේ වන විට එම නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු ද සිදුවෙමින් පවතින බවත් ස්ටාලින් මහතා සඳහන් කරයි.


මෙතෙක් විභාග කටයුතු සිදු කරන ලද්දේ මනා පුහුණුවකින් හා පළපුරුද්දකින් යුතු ගුරුවරු, විදුහල්පතිවරු, අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ නිලධාරීන් බැවින් එම නිලධාරීන් සිටියදී බාහිර පුද්ගලයන් විභාග කටයුතුවල යෙදවීමෙන් විභාග අක‍්‍රමිකතා වැළැක්වීමක් නොව ජාතික විභාග කටයුතු මිලිටරිකරණය කිරීමක් සිදු වන බවද ඒ මහතා පෙන්වා දෙයි.


එසේම හමුදා නිලධාරීන් විභාග ශාලාවල යෙදවීමෙන් නිදහස් මානසික තත්වයෙන් යුතුව විභාග අපේක්ෂකයන්ට විභාගයට මුහුණදීමට අවස්ථාව අහිමි වන බවද ජෝෂප් ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.