(හර්ෂණ තුෂාර සිල්වා)
ධාරාණිපාත වර්ෂාව සහ දැඩි සුළං නිසා පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය සියලු කටයුතු සිදුකරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) උපදෙස් දී තිබේ.
දකුණු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනපති එරට සිට අද (30) පෙරවරුවේ ආපදා කලමනාකරණ අමාත්‍යවරයා සහ ජනාධිපති ලේකම්වරයා දුරකථනයෙන් අමතමින් මෙම උපදෙස් ලබා දී තිබේ.
අදාළ උපදෙස් දුන් බව සඳහන් කරමින් ජනාධිපතිවරයා තම නිල ට්විටර් ගිණුම ඔස්සේ ට්විටර් පණිවිඩයක් ද නිකුත් කර තිබිණි.
මේ අතර හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත්වූ පවුල්වලට මූලික පියවරක් ලෙස රුපියල් 10,000ක දීමනාවක් ලබාදීමට රජය මේ වන විට තීරණය කළ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික රක්ෂණභාර අරමුදල ඇතුළු අදාළ අංශවලට ඒ සම්බන්ධයෙන් අද (30) උපදෙස් දී තිබිණි.

