නාලක සංජීව දහනායක
ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්‍ෂනායක ධූරය දෙන ලෙස ඉල්ලමින් ලබන සතියේ දී කතානායකවරයාට ලිපියක් භාරදීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර තිබේ.
මෙම ලිපිය සඳහා ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 70 දෙනාම අත්සන් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
එමෙන්ම විපක්‍ෂනායක තනතුර ඉල්ලා එකාබද්ධ විපක්‍ෂයේ කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 70 දෙනාගේම අත්සන් සහිතව ලබන සතියේදී කතානායකවරයාට ලිපියක් භාරදෙනවා. පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට මන්ත‍්‍රීවරුන් 92ක් ඉන්නවා. ඉන් මන්ත‍්‍රීවරුන් 70ක් ඒකාබද්ධ විපක්‍ෂයට සහය ලබාදෙනවා. ඒ මන්ත‍්‍රීවරුන් පිරිස ආර්.සම්පන්ධන් මහතා විපක්‍ෂනායකවරයා ලෙස පිළිගැනීමට සූදානම් නැහැ.
රජය විවේචනය නොකරන ලෝකයේ එකම විපක්‍ෂනායකවරයා වත්මන් විපක්‍ෂනායකවරයායි. අගමැතිවරයාට විරුද්ධව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේ දී අගමැතිවරයා ආරක්‍ෂා කිරීමට විපක්‍ෂනායකවරයා ඉදිරිපත් වුණා. මේ වගේ විපක්‍ෂනායකවරයෙක් කවදාවත් අපේ රටේ හිටියේ නැතැයි ද කීය.
බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.