විපක්ෂනායක ධූරය ඒකාබද්ධයට දීමේ තීරණය මේ සතියේ


(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)

විපක්ෂනායක ධූරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදීම සම්බන්ධයෙන් තවත් නීතිමය  කරුණු දෙකක් ගැන විමසීමට ඇති බැවින් ඒ පිළිබඳ අවසන් තීරණය මෙම සතිය තුළ ලබා දෙන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය.

කතානායකවරයා ඒ බව සඳහන් කළේ විපක්ෂ නායක ධූරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදීම සම්බන්ධයෙන් පුරා පැය එක හමාරකට වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ අද පැවැති සංවාදය අවසානයේදී පිළිතුරක් දෙමිනි.

පාර්ලිමේන්තුව ආරම්භයේ නියමිත කාර්යයන් අවසානයේදී නැගි සිටි ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂනායක ධූරය සම්බන්ධව ප්‍රථමයෙන්ම සිය අදහස් දැක්වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද මැති ඇමැතිවරුන් එකිනෙකා පරයා නැගි සිටින්නට වුයෙන් කතානායකවරයා ඔවුන් කතා කිරීම සඳහා අවස්ථා ඉල්ලා නැගි සිටි අනුපිළිවෙළ අනුව සියලු දෙනාටම තම අදහස් දැක්වීමට අවස්ථාව ලබා දුන්නේය.