විපක්ෂ නායක ධූරය බාර ගන්න දිනේෂ් සුදානම්


(නාලක සංජීව දහනායක)

පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක ධූරය ලබාගැනීම සඳහා තමන් සූදානම් බව ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (27) පැවැසීය.

විපක්‍ෂයේ බහුතර මන්ත‍්‍රීන් පිරිසක් හිමි ඒකාබද්ධ විපක්‍ෂයට විපක්‍ෂ නායකධූරය හිමි බවත්, එය ලබා ගැනීම සඳහා දේශීයව හා ජාත්‍යන්තරව ක‍්‍රියාමාර්ග රාශියක් සංවිධානය කරමින් පවතින බවද කීය.

මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.

නිල විපක්‍ෂයට වඩා අපේ මන්ත‍්‍රීධූර වැඩියි. ඔහු පත්වුණේ වැරදි විදියටයි.මේ සත්‍ය තත්ත්වය තේරුම්ගෙන විපක්‍ෂ නායකතුමා තනතුරින් ඉල්ලා අස්වෙනවානම් හොඳයි. ඔහු ඉල්ලා අස් නොවෙනවා නම් ඔහුව තනතුරින් ඉවත් කරන්න අපි දේශීයව හා ජාත්‍යන්තරව වැඩ පිළිවෙලක් සංවිධානය කරගෙන යනවා. විරුද්ධ පක්‍ෂය ජනතාව වෙනුවෙන් හඬ නැඟිය යුතුයි.

නමුත් අපේ විපක්‍ෂනායකතුමා ජනතාවගේ දුක වේදනාව ගැන කතා කරන්නේ නැහැ. ඔහු හැමවිටම ආණ්ඩුව සමඟ එකතුවෙලා කටයුතු කරනවා. මෙහෙම විපක්‍ෂනායකවරු ලෝකයේ කොහේවත් නැහැ.

මහරගම, ඇල්හේන මාවතේ පිහිටි මහජන එක්සත් පෙරමුණු කාර්යාලයේ අද (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ඡායාරූපය -ලහිරු හර්ෂණ