නාලක සංජීව දහනායක
ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් විපක්‍ෂනායක ධූරය ඉල්ලීම පිළිබඳව හෙට (6) සවස පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂ ප‍්‍රධානීන්ගේ රැස්වීමේදී තීරණය කරන බව එක්සත් ජනාත නිදහස් සන්ධානයේ ප‍්‍රධාන ලේකම්,කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවසීය.
විපක්‍ෂනායක ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන හා කුමාර වෙල්ගම යන මහත්වරන්ගේ නම් යෝජනා කළ ලිපි දෙකක් තමන්ට ලැබී තිබෙන බවද මහලේකම්වරයා කීය.
ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්‍ෂනායක ධූරය ලැබිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අට දෙනෙකු අත්සන් කළ ලිපියක් කථානායකවරයා තමන්ට යොමුකර තිබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා විපක්‍ෂනායක ධූරය සඳහා කුමාර වෙල්ගම මහතා පත්කරන ලෙස ඉල්ලමින් පළාත් පාලන සංසදය විසින් තවත් ලිපියක් යොමුකර තිබෙන බවද කීය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අට දෙනෙකු යනු පාර්ලිමේන්තුවේ බහුතර මන්ත‍්‍රී කණ්ඩායම නොවන බවත් විපක්‍ෂනායක ධූරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ පිල්බෙදීමක් නිර්මාණය වී ඇතැයිද සන්ධාන මහලේකම්වරයා පැවසීය.
ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්‍ෂනායක ධූරය ලැබිය යුතු බවට දිනේෂ් ගුණවර්ධන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උයද ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, ජෝන් සෙනෙවිරත්න සහ සුසිල් පේ‍්‍රමජයන්ත මහත්වරුන් අත්සන් තබා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.