විනයක් ඇති උගතුන් බිහි කරමු - ජනාධිපති


හර්ෂණ තුෂාර සිල්වා
 
රටක අනාගතය පිළිබඳ බලාපොරොත්තු තැබිය හැක්කේ එම රට විවිධ ක්ෂේත්‍රවලින් පෙන්වන පරිණත බව අනුව යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) කොළඹදී ප්‍රකාශ කළේය. 

අධ්‍යාපනය, දැනුම, කුසලතා සහ උගත්කම මෙන්ම රටක් විවිධ අංශ හා විෂය ක්ෂේත්‍රවලින් පෙන්වන පරිණත බව එම රටේ අනාගතය තීරණය කරන බව ද ජනාධිපතිවරයා කීය. 

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම කරුණු කීය.

දැනුම සහ උගත්කම මුල් කරගත් රටකට ඉදිරියට යෑම නව තාක්ෂණික ලෝකය බෙහෙවින් උපකාරී වන බව කී ජනාධිපතිවරයා දැනුම මුල්කරගත් සමාජයක් ගොඩනැගීමට කැපවීම අද දවසේ අප සියලුදෙනාගේ වගකීම යැයි ද එහිදි පැවැසීය.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.

“තරගකාරීත්වය තිබෙන්නේ දැනුම තිබෙන සමාජ තුළයි. එම නිසා දැනුමෙන් හා නවෝත්පාදනවලින් සමන්විත කුසලතා පිරි සමාජයක් ගොඩනැගීමේ අභියෝගය සහ වගකීම් අප සතුව තිබෙනවා. එම ඉලක්ක සපුරාගැනීමට අපි විනයගරුක පරපුරක් විනයගරුක සමාජයක් ඇති කළ යුතුයි. උගත් හා බුද්ධිමත් වුවත් විනයගරුක නොවීම ඇතැම් විට ඉස්මතු වෙනවා. එම නිසා විනයක් ඇති උගතුන් බිහි කිරීමට වගේම එම උගතුන් විනයගරුක සමාජයක් බිහි කිරීමට ඇප කැපවීමද සිදු විය යුතු” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කීවේය.  

 
ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි