විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාට රණවිරුවෝ විරුද්ධ වෙති


(විනීතා එම්  ගමගේ)

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවාට රට බේරාගත් රණවිරුවන් විරුද්ධ බවත් ඊට හේතුව එවැනි තත්ත්වයකදී රටේ ඒකියභාවය ගිලිහී යාමට ඉඩ ඇති බවත් යැයි මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ සභාපති මේජර් අජිත් ප‍්‍රසන්න මහතා ප‍්‍රකාශ කරයි.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි වුවහොත් දැනට ජනාධිපති බලතල යටතේ ඇති ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවලට යන බවත් විධායක ජනාධිපති නැතිවෙනවාත් සමඟ ආණ්ඩුකාර තනතුර නැති වීමෙන් තත්ත්වය තවත් බරපතල වන බවත් හෙතෙම  කියා සිටියේය. 

ආණ්ඩුකාරවරයා යනු පළාත් සභාවේ දී ජනාධිපතිවරයාගේ තානාපතිවරයා වන අතර  දැනටමත් හමුදාව උතුරෙන් පිටවිය යුතු බව උතුරේ මහඇමැති පවසන්නේ නම් ඔහු යටතේ නැටවෙන රූකඩයක් බවට ආණ්ඩුකාරයා පත්වුවහොත් කුමක් වේදැයි ප‍්‍රසන්න මහතා ප‍්‍රශ්න කළේය.

අජිත් ප‍්‍රසන්න මහතා මේ අදහස් පළ කළේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (20) පැවැති මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී හෙතෙම මෙසේ ද කියා සිටියේය.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳව සියලු පක්ෂ තම මතය වහා හෙළි කළ යුතු බවත් විශේෂයෙන් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඒ පිළිබඳ මතය ඉක්මණින්ම හෙළි කළයුතු බවත් මේජර් ප්‍රසන්න මහතා පැවසීය‍.

අද බොහෝ දෙනෙකුට හදිසියේම විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට සිතී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී තරඟ කරාවි යන බිය නිසා බව ද හෙතෙම පැවැසීය. ඔහු තරඟ බිමට පැමිණියහොත් එහි දී ඔහු හා තරඟ කරන්නට  තරම් කෙනෙක් කිසිදු පක්ෂයක හෝ කණ්ඩායමක නොමැති බව ද සභාපතිවරයා ප‍්‍රකාශ කළේය. 

තමන් විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවාට විරුද්ධ වන්නේ ගෝඨාභය මහතා ගැන සිතා නොව රටේ ඒකීය භාවයට වන හානිය ගැන සීතා යැයි ද ඔහු පැවැසීය.

මේ යන අලූත්ම තත්ත්වය උඩ බලන්න පළාත් පාලන ආයතනවල බහුතරය දිනුවේ පොහොට්ටුව. ඒත් බලය පිහිටුවනකොට එක්සත් ජාතික පක්ෂය ශ්‍රීලනිපයේ හා ජවිපෙ සහය අරන් බලය පිහිටුවනවා. එකක් දෙකක් නොවෙයි. සීයක් එකසිය පණහක් පමණ.

එතකොට මේ ඡන්ද  ක‍්‍රමය ආවොත් කොහොමද පාර්ලිමේන්තු මැතිවරණයේ දී, නැත්නම් පළාත් සභා මැතිවරණයෙ දී. එහෙම වෙන්න බැරිද? අපි දන්නේ නැහැ කේවල ක‍්‍රමයෙන් සියයට පණහකුයි සමානුපාතික ක‍්‍රමයෙන් සියයට පණහකුයි ආවොත් මොකද වෙන්නේ?

මේ ක‍්‍රමේ පාර්ලිමේන්තු මැතිවරණයට ආවොත් මොකද වෙන්නේ? කවදාවත් පොහොට්ටුවට බලයට එන්න බැරිවේවි. රණවිරුවන් මේකට විරුද්ධයි. අපි ජනාධිපති ධූරය අහෝසි කිරීමේ 20 වැනි සංශෝධනයක් ගේනවට විරුද්ධයි. අපි කියනවා පොදු ජන පෙරමුණට පක්ෂයේ මතය මේ ගැන එළි කරන්න කියලා.

අපි කැමතියි ගෝඨාභය මහත්තයා ජනාධිපති වෙනවාට. නමුත් ඒක නිසා නොවෙයි. අපි කියන්නේ රටේ ඒකීය භාවය නැතිවෙනවාට අපි බයයි.  ඒකාබද්ධ විපක්ෂය ජනාධිපති ධුරය අහෝසි කරන්න සහය දෙනවා නම් අපි ඒකාබද්ධ විපක්ෂයටත් එරෙහිව පාරට බහිනවා. යැයි ද ප‍්‍රසන්න මහතා කියා සිටියේය.