විධායක ජනපති ධුරය අහෝසි කිරීමේ ජවිපෙ යෝජනා අනුමත කරනවා‘ -ගාමිණි වියන්ගොඩ


(විනීතා එම් ගමගේ)

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා වන ජනතා විමුක්ති පෙරමුණේ යෝජනා අනුමත කරමින් එය රට පුරා ජනතාව අතරට ගෙන යාමටත් කටයුතු කරන බව පුරවැසි බලය සංවිධාන යේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික ගාමිණි වියන්ගොඩ මහතා පැවැසීය. 

මෙම යෝජනාව ජවිපෙ විසින් ඉදිරිපත් කරන තුරු සිටීම  ගැන ජනාධිපති වරයා සහ අගමැතිවරයා ලැජ්ජාවට පත්විය යුතු බව ද පුරවැසි බලය සංවිධානය මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (30) පැවත්වූ මාධ්‍ය හමුවක් අමතමින් වියන්ගොඩ මහතා ප‍්‍රකාශ කළේය. 

විධායක ජනාධිපති තනතුර නිසා රටක් ලෙස  ඇතිවිය හැකි ප‍්‍රශ්න ගැන සාකච්ඡා කළ යුතු නමුත්  එසේ කළ යුත්තේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා යන ප‍්‍රතිපත්තියේ ඉදගෙන යැයි ද හෙතෙම කියා සිටියේය.

වියන්ගොඩ මහතා මෙසේ ද කීය.

‘‘ චම්පික ඇමතිතුමා කියල තිබුණා විධායක ජනාධිපති ධූරය තව දුරටත් තිබිය යුතුයි කියලා. එතුමා ඉන්නේ 2025 ජනාධිපතිවරණයට තරඟ කරන්නයි. ඒ නිසයි මේ  ක‍්‍රමයට විරුද්ධ. හැම දෙනාම තමන්ට හෝ තම පක්ෂයට අත්විය හැකි වාසි හෝ අවාසි තීරණය කරමින් මේ ගැන තීන්දු ගන්නවා. නමුත් පුද්ගලවාදීව බැලීමෙන් ඉවත්වෙලා අනාගත පරම්පරාව වෙනුවෙන් තීරණ ගතයුතු අවස්ථාවයි මේ. 


ජනතා විමුක්ති පෙරමුණ මේක ඉදිරිපත් කිරීම කාලෝචිතයි. ඒ ඔවුන් විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට මුලින්ම ලිඛිතව පොරොන්දුවක් දුන් නිසා. ඔවුන්ට මේ ගැන සැබෑ අයිතියක් තිබෙනවා. දැන් හෝ එය ගෙන ඒම හොඳයි. 


මෙම කෙටුම්පත ගෙන ඒමේ පළමු වගකීම ඇත්තේ වත්මන් ජනාධිපතිටයි. ඊළඟට ඒ වගකීම ඇත්තේ අගමැතිවරයාටයි. මේ දෙදෙනාම කිහිප වතාවක්ම මේ විධායක ජනාධිපතිධූරය අහෝසි කරන බවට පොරොන්දු වුණා. ඔහුගේ පක්ෂයත් මේ රටට ඒ පොරොන්දුව දුන්නා. එසේ තිබියදී ජනතා විමුක්ති පෙරමුණ පෞද්ගලික යෝජනාවක් ලෙස මේ යෝජනාව ගෙන ඒම ගැන සතුටු විය හැකියි. යහපාලනයේ වගකීම සැබෑ ප‍්‍රශ්න සාකච්ඡා කරමින් මේ ක‍්‍රමය අහෝසි කිරීමයි.’’ යැයි ද වියන්ගොඩ මහතා පැවැසීය. 

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික සභාව වෙනුවෙන් අදහස් දැක්වූ මහාචාර්ය සරත් විජේසූරිය මහතා මෙසේ කීය.

 
‘‘ මේ යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ඒම ගැන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ලැජ්ජා විය යුතුයි. සෝභිත හිමියන් එදා තේමාව ලෙස ගෙන ගියේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළයුතුමයි කියලයි. ඒ තේමාව ඔස්සේ මැතිවරණ ව්‍යාපාරය ගෙන ගොස් වත්මන් අණ්ඩුව බලයට ආවේ. 


ඒ බව සිහි කරමින් ජනාධිපතිවරයා සෝභිත හිමියන්ගේ අවසන් කටයුතු සිදුවෙන මොහොතේ විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කරන බවට යළි සපථ කළා. 


මා සිතන්නේ ජනාධිපතිවරයා සෝභිත හිමියන් අපවත්වන තුරුම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න සිතා සිටියා. නමුත් එතුමාගේ උපදේශකයන් විසින් ඒ ගැන ජනාධිපතිවරයාගේ මතය වෙනස් කර තිබෙන හැඩයි.