විදේශීය සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක්


(තිළිණි ද සිල්වා)

කොළඹ නගරයේ හෝටල් වලට විදේශීය සංචාරකයින් පැමිණීම සීඝ්‍රයෙන් පහළ ගොස් ඇතැයි සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙරට පැතිරයන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ දිනවල  කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයකටම සංචාරකයින් නොමැතිවීම හේතුවෙන් එම හෝටල් පවත්වා ගෙන යෑමේ අසීරුතාවයන් මතුවී ඇතැයි සංචාරක හෝටල් ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ඒ අනුව වෙනදා දිනකට සංචාරකයින් 100 කට වැඩි පිරිසක් පැමිණෙන කොළඹ නගර සීමාවේ පිහිටි  සුපිරි හෝටල් වලට සංචාරකයින්ගේ පැමිණීම 20 ක් දක්වා අඩු වී තිබේ.

කොළඹ නගරයේ පිහිටි කාමර 500 කින් යුතු සංචාරක හෝටල් වලටම සංචාරකයින් සිටිනුයේ සියයට 20 ක් වැනි සුළු ප්‍රමාණයක් යැයිද එම ආංරචි මාර්ග සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරයට වඩා මෙම වසංගත තත්ත්වය හේතුවෙන් සංචාරකයින්ගේ පැමිණීම පහළ වැටී ඇති බවත් සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන් පෙන්වා දෙති.

මෙම වසංගතය හේතුවෙන් ලෝක සංචාරක කර්මාන්තය ද  කඩා වැටීමකට ලක්වී ඇති බවත් එම තත්ත්වය ලංකාවේ සංචාරක කර්මාන්තයට ද බලපා ඇති බවත් සංචාරක කර්මාන්තයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ තමන්ට සහන සලසන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බවත් සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.

ඒ යටතේ ක්ෂේත්‍රයේ නිරත වූවන්ට සහන ලබා දීම සදහා ඉදිරියේදී කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කරන බව  අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.

පෙබරවාරි මාසයේ දී විදෙස් සංචාරකයින් මෙරටට පැමිණීම සියයට 17.7 කින් අඩු වූ  බව ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය පැවසීය.