විදේශීය ගව විශේෂ ආනයනයට මම ලෑස්ති නෑ


(බන්දුල ඉලේපෙරුම)

විදේශීය ගව විශේෂ ආනයනයට තමන් සූදානම් නැති බවත්, මේ වන විට ගවයින්  10,000ක් ආනයනයට සූදානම්ව සිටින්නේ පෞද්ගලික ව්‍යාපාරිකයන් පමණක් බවත් කෘෂිකර්ම අමාත්‍ය  මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (10 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවසීය. රජය විසින් සිදු කරන්නේ එම ව්‍යාපාරිකයන්ට ඉඩම් ලබා දීමක් පමණක් බවද කෘෂිකර්ම ඇමතිවරයා සඳහන් කළේය.

කිරි නිෂ්පාදනය  ඉදිරියේදී වර්ධනය කර ශ්‍රී ලංකාවේ කිරි පරිභෝජනයෙන් 80%ක් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහා  රජය සූදානමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (10)  පාර්ලිමේන්තුවේදි  ප්‍රකාශ කළේය. එම අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයාගේ අවසරය මත පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාට  පිළිතුරු ලබාදීමට එක් වූ  කෘෂිකර්ම අමාත්‍ය  මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉහත අදහස් දැක්වීය.

දැනට ශ්‍රී ලංකාවේ වාර්ෂික කිරි අවශ්‍යතාවයෙන් 40 % ක් පමණක්  දේශීය කිරි ගොවිපළවලින් ලබාගන්නා  අතර ඉතිරි කිරි ප්‍රමාණය, කිරි පිටි  සහ දියර වශයෙන්  ආනයනය කිරීමට  කටයුතු යොදා ඇති බවද අග්‍රාමාත්‍යවරයා කීවේය. අගමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා දේශීය කිරි නිෂ්පාදනය සහ පසුගිය වසරවලදී  ආනයනික කිරි පිටි හා දියර සඳහා මෙරටින් විදේශයට ඇදී  යන මුදල් ප්‍රමාණය පිළිබඳව කළ විමසීමකට  පිළිතුරු ලබා දෙමිනි.

වසර  2024 වර්ෂය වන විට අවම වශයෙන් ශ්‍රී ලංකාවේ කිරි පරිභෝජනයෙන් 80%ක් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම මෙම රජයේ ඉලක්කය බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකාවට වඩා සුදුසු ගව ප්‍ර‍භේදයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යෝජනා කළ ඉන්දියානු ගව විශේෂය ලබාගැනීමට  ඉන්දියාව  අවසර නොදෙන බවද  කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

බුද්ධික පතිරණ මහතා වැඩිදුරටත් කළ විමසීමකට අනුව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  ආරම්භ කළ ගව ඝාතනය  තහනම් කිරීමේ තීන්දුවේ තත්ත්වය ද මෙහිදී පැහැදිලි කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ සම්බන්ධයෙන්  ජාතික පශු සම්පත් මණ්ඩලයේ ගොවිපළවලදී  පිරිමි  ගවයන් ඒකරාශිකරණයෙන් එම ක්‍රියාවලිය ආරම්භ කිරීමට සාකච්ඡා සිදුවෙමින් පවතින බව පැවසීය.