විදේශීකයන් මිලට ගන්නා භාණ්ඩවලට ආපසු වැට්බදු ගෙවීමේ ක්‍රමයක්


(විනීතා එම් ගමගේ)

සංචාරකයන් මෙරට දී මිලදී ගන්නා භාණ්ඩ වලට අය කෙරෙන බදු ගුවන් තොටුපළේ දී නැවත ගෙවීමට වැඩපිළිවෙලක් සකසා ඇතැයි සංචාරක හා ක‍්‍රීස්තියානි අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප‍්‍රකාශ කළේය.

2018 වසරේ මැයි මස 1 වැනිදා සිට මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක වන බව ද අමරතුංග මහතා කීය. 

සංචාරකයින් උදෙසා සහන සැලසීමේ අරමුණින් අයවැයෙන් මෙම යෝජනාව ඉදිරිපත් වී ඇතැයි කී අමාත්‍යවරයා මෙහි දී සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම මෙන්ම ශ්‍රී ලංකාව ආසියාවේ වෙළඳ කේන්ද්‍රය බවට පත් කීරීමේ ඉලක්කයක් ද පවතීතැයි පැවැසීය.

දකුණු ආසියාවේ දැනටමත් භාණ්ඩ මිල අඩුම රට ලෙස ශ්‍රී ලංකාව ප‍්‍රසිද්ධව ඇති බැවින් මෙසේ වැට් බදු ආපසු ගෙවීමට ගත් තීරණය නිසා වෙළඳාම වැඩි වනු ඇතැයි විශ්වාස කරන බව ද හෙතෙම සඳහන් කළේය. 

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (4) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවක දීය. 

එහි දී තව දුරටත් අයවැයෙන් සංචාරක ව්‍යාපාරයට ලැබී ඇති සහන පිළිබඳව හෙළි කරමින් අමාත්‍යවරයා මෙසේ ද කීය. 

සුරා බලපත‍්‍ර ගාස්තු සඳහා සහන දීමත් සංචාරක ස්ථාන වැඩි දියුණු කිරීමත් සංචාරක ප‍්‍රදේශවල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමත් සඳහා ප‍්‍රතිපාදන වෙන්වී තිබෙනවා. ඒ වගේම කොළඹ කොටුව, නානු ඔය, ඇල්ල හා ගාල්ල යන දුම්රිය ස්ථාන වැඩි දියුණු කිරීම සඳහා යෝජනා වී තිබෙනවා. එමෙන්ම සීගිරිය, මඩකලපුව, කොග්ගල, චීනවරාය යන ගුවන් තොටුපළවල් වැඩි දියුණු කිරීමටත්, මාදුරු ඔය හා ගල් ඔය යන ජාතික උද්‍යාන වැඩි දියුණු කිරීමටත් මුදල් වෙන් කර තිබෙනවා. 

වෙරළ  තීරයේ ජීවිතාරක්ෂක මධ්‍යස්ථාන 25 ක් ඉදිකිරීමටත්, සංචාරක පොලිසි වැඩි දියුණු කිරීමටත් සංචාරකයින් සඳහා වන ක‍්‍රීඩා වැඩි දියුණු කිරීමටත් මුදල් වෙන් කර තිබෙන බවත් කිව යුතුයි. මේ අතර ලන්ඩන් මුම්බායි සහ ලොස් ඇන්ජලීස්වලදී ප‍්‍රදර්ශනාත්මක සැණකොලි පවත්වා සංචාරක කේෂ්ත‍්‍රය ගැන ප‍්‍රචාරය කරන්නට ද මුදල් වෙන්වී තිබෙනවා.’’ යැයි ද අමාත්‍යවරයා කියා සිටියේය. 

සංචාරක හා ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශයේ ලේකම් ඇසල වීරකෝන් මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.