විදේශිය දුම්වැටි සමඟ චීන කතක් රේගුවේදී දැලේ


(ටී.කේ.ජී.කපිල )


විදේශීය දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ චීන ජාතික ගුවන් මගී කාන්තාවක්  අද (27)  අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
 
ඇය අද(27)  අලුයම 2.30 ට පමණ ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්. - 557 දරණ  ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත "

ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
 
ඇය විසින් රැගෙන විත් තිබූ විශාල ඇදුම් අසුරන බෑගයක , මෙම ඩුබායි හි නිෂ්පාදිත දුම්වැටි 20,980 ක් අසුරා , සඟවා ගෙන සිටි අතර , ඒවායේ මුළු වටිනාකම රුපියල් 10,49, 000 ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

 මේ පිළිබඳව වැඩිදුර රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ මලික් පෙරේරා මහතා විසින් පැවැත්වූ අතර , එහිදී මෙම දුම්වැටි තොගය රාජසන්තක කර , මෙම චීන ජාතික කාන්තාවට රුපියල් 50,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ .