විදේශ අමාත්‍යංශ නිලධාරිනිය ඇමති හමුවුණේ ආසාදිතයා මුණගැසීමට පෙරයි


(තිළිණි ද සිල්වා)
 
පවුලේ සාමාජිකයකුට කොරෝනා ආසාදනය වී ඇති විදේශ සබදතා අමාත්‍යාංශයේ නිලධාරිනිය විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුලූ දූත කණ්ඩායම සමග ජිනීවා නුවරදී කටයුතු කරනු ලැබුවේ එම රෝගය ආසාධිත වූ සිය පවුලේ සාමාජිකයා හමුවීමට පෙර යැයිද විදේශ සබඳතා අමාත්‍යාංශය  අවධාරණය කර සිටී.
 
ඇය ඉකුත් පෙබරවාරි මාසය අගදී ජිනීවා නුවර පැවති මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට සහභාගී වූවාය.
 
විදේශ සබඳතා අමාත්‍යාංශයේ සේවයේ නියුතු නිලධාරිනියකගේ පවුලේ සාමාජිකයෙකු කොරෝනා වයිරසය (COVID -19) ආසාධිතයකු වශයෙන් තහවුරු වීමෙන් පසු, වයිරසය සම්ප්‍රේෂණය වීම අවම කිරීම සඳහා ගන්නා ලද ආරක්ෂිත පියවර සම්බන්ධයෙන් නිවේදනයක් නිකුක් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මහතා කියා සිටී.
 
අමාත්‍යවරයා ඇතුලු දූත පිරිස මෙම නිලධාරිනිය සමඟ කටයුතු කරනු ලැබූවේ, එම නිලධාරිනිය විසින් ඉකුත් පෙබරවාරි 29 සිට 1 වැනිදා දක්වා කාලය තුළ යුරෝපයේ පෞද්ගලික සංචාරයක නියුතුව සිටි රෝගය ආසාධිත වූ සිය පවුලේ සාමාජිකයා හමුවීමට පෙර යැයිද එම අමාත්‍යාංශය  ප්‍රකාශිකාව කියා සිටින්නීය.
 
නිලධාරිනිය ඉකුත් 8 වැනිදා  නැවත  ලංකාවට පැමිණි බවත් , එදින සිට විදේශ අමාත්‍යවරයා සහ නිලධාරිනිය අතර කිසිදු හමුවක් සිදුව නැතැයිද ඇය පෙන්වා දෙන්නීය.
 
ඉකුත් 9 වැනිදා සිට  ඇරඹි පසුගිය සතිය තුළ අදාළ නිලධාරිනිය එක් දිනක් පමණක් සේවයට වාර්තා කර ඇති අතර, එයද ආසා‍ධනයට ලක්වූ ඇයගේ පවුලේ සාමාජිකයා  මෙරටට පැමිණීමට පෙරය. රෝගය ආසාධනය වූ පවුලේ සාමාජිකයා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ එම නිලධාරිනිය ශ්‍රී ලංකාවට පැමිණ දින කිහිපයකට පසුව බවද එම ප්‍රකාශිකාව කියා සිටියාය.

අදාළ නිලධාරිනිය මේ වන විට මනා සෞඛ්‍යය තත්වයෙන් පසුවන අතර  අමාත්‍යාංශය සිය කාර්ය මණ්ඩලය, අමුත්තන් සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා මෙම තත්වය නියාමනය කිරීමට සහ සුපරීක්ෂණය කිරීමට අවශ්‍ය කටයුතු අඛණ්ඩව සිදු කරනු ඇතැයිද විදේශ සබඳතා අමාත්‍යාංශ ප්‍රකාශිකාව පැවසුවාය.