( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පසුගිය 2012 වසරේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ සිදු වූවා යැයි කියන මූල්‍ය අවභාවිත සිදුවීම් පිළිබඳ විමර්ශනය කරන ලෙස අභියාචනාධිකරණය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අද (18) නියෝග කළේය.
අභියාචනාධිකරණය මෙසේ නියෝග කළේ එම කාර්යාංශයයේ සේවයේ නියුතු තිදෙනෙකු විසින් ගොනු කළ රිට් පෙත්සමක් සලකා බළමිනි.
අභියාචනාධිකරණ සභාපති ප‍්‍රීති පද්මන් සූරසේන , සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැළිණි.
ප‍්‍රසාද් ප‍්‍රියදර්ශන , සුමිත‍්‍රා පි‍්‍රයදර්ශන සහ ක‍්‍රිෂානි සිල්වා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති සහ එහි අධ්‍යක්ෂක මණ්ඩලය , එවකට හිටපු විදේශ රුකියා අමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබේ.
ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.
පළමු හා දෙවැනි පෙත්සම්කරුවන් කාර්යාංශයේ සහකාර කළමනාකරුවන් වන අතර තුන් වන පෙත්සම්කරු කාර්යාංශයේ මාණ්ඩලික සහකරුවෙකු වේ.කාර්යාංශයේ දුෂණ වංචා සහ මුදල් අවභාවිත කිරිමේ සිද්ධි සම්බන්ධයෙන් එම කාර්යාංශයේ අධ්‍යක්ෂකවරුන් කිහිපදෙනෙකුම 2016 වසරේදී පාර්ලිමේන්තු කෝප් කමිටුවට කැඳවනු ලැබිණි.එම වසරේදීම මාර්තු මාසයේදී කාර්යාංශයේ අභ්‍යන්තර විගණන නිලධාරීන් විසින් පෙත්සම්කරුවන් ඇතුළු පිරිසකගෙන් ප‍්‍රකාශ ලබා ගත් බවද කියා සිටිති.
ඉන්පසුව රුපියල් හය ලක්ෂ හැට එක්දහස් හාරසිය හැත්තෑ පහක මුදල් අවභාවිතා සිද්ධියක් පිළිබඳව පෙත්සම්කරුවන් වගකිව යුතු බවට එම විගණන පරීක්ෂක නිලධාරී විසින් ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් විණි.පසුව මේ පිළිබඳ වැඩිදුරටත් සොයා බැලීමට විශ‍්‍රාමික පරිපාලන නිලධාරියෙකු පත් කරනු ලැබීය.ඔහුගේ වාර්තාවට අනුව් මෙම මූල්‍ය අවභාවිත සිද්ධීන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ඉදිරිපත් කළ යුතු බවට නිර්දේශ කර තිබිණි.
මේ අතර මීට පෙර පත්කළ විගණන නිලධාරියා විසින් පෙත්සම්කරුවන් වරදකරුන් කරමින් වාර්තාවක් නිකුත් කර තිබූ අතර ඊට අමතරව ඔවුන් ගේ වැටුප් වර්ධක නවතා අදාළ මූල්‍ය වංචා සිද්ධියට සම්බන්ධ මුදල් පෙත්සම්කරුවන්ගේ වැටුපෙන් අය කර ගන්නා ලෙසට නිර්දේශ කර තිබිණි.