(විනීතා . එම් ගමගේ)
විදුහල්පතිවරුන් නායකත්ව පුහුණුවට යැවීම ඔවුන්ගේ කැමැත්ත මත සිදුවන්නක් මිස ඒ සඳහා ඔවුන්ට කිසිදු බලකිරීමක් සිදුනොකරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු මානව සම්පත් අධ්‍යක්ෂ ලොකුසූරියගේ තිලකසිරි මහතා කොළඹ නාගරික හදිසි මරණ පරික්ෂකවරයා හමුවේ ප‍්‍රකාශ කළේය.
පුහුණුව ලබා දීමට ප‍්‍රථම ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලීමේ වැඩපිළිවෙළක් සිදු නොවන්නේ යැයි ද ඔහු කියා සිටියේය.
2009 සිට ක‍්‍රියාත්මක වන මෙම පුහුණු වැඩසටහන ජාතික පාසැල් විදුහල්පතිවරුන්ට පමණක් නොව අධ්‍යාපන පරිපාලන සේවයේ ගුරුවරුන්ටත් ලබාගත හැකි යැයි ද හෙතෙම සඳහන් කළේය.
තිලකසිරි මහතා මේ බව කියා සිටියේ හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනී රෝහිණි කුමාරි අතපත්තු (54) මහත්මියගේ මරණය පිළිබඳව කොළඹ නාගරික හදිසි මරණ පරික්ෂක උසාවියේ පැවැති හදිසි මරණ පරික්ෂණයේ වැඩිදුර පරික්ෂණයේ දී සාක්කි දෙමිනි.
ඉකුත් පෙබරවාරි 17 වැනිදා ඇය මිය ගියේ වාරියපොළ පිහිටි පුහුණු මධ්‍යස්ථානයක නායකත්ව පුහුණුවක යෙදී සිටිය දීය. ඒ පිළිබඳව කොළඹ නාගරික හදිසි මරණ පරික්ෂණ උසාවියේ පැවැති පරික්ෂණයේ දී හෙළිවූ කරුණු අනුව අදාළ පරික්ෂණය කල් තැබු මරණ පරික්ෂකවරයා මීට පෙර අවස්ථාවක ජාතික පාසල් අධ්‍යක්ෂකවරයා කැඳවා තිබිණි. මානව සම්පත් අධ්‍යක්ෂවරයා කැඳවා තිබුණේ ජාතික පාසල් අධ්‍යක්ෂවරයා විසින් දුන් සාක්කි අනුවය.
කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරික්ෂක මොහමඞ් අෂ්රොෆ් රූමි මහතා ඉදිරියේ මෙම පරික්ෂණය පැවැත්විණි.