විදුහල්පති යතුර අරන් ගෙදර ගිහින්: ගුරුවරු, දරුවන් මිදුලේ


(ඩබ්ලිව්.ඒ. අසේල)

තමාට ස්ථාන මාරුවක් ලබානොදීමට විරෝධය පා මහනුවර අධ්‍යාපන කලාපයට අයත් නාරන්හින්න දෙමළ විද්‍යාලයේ විදුහල්පති විසින් විද්‍යාලයේ යතුරු රැගෙන දුර බැහැර ඇති තම ගමට ගොස් නිවසට වී සිටි නිසා අද(17) පාසලේ ගුරුවරුන් සහ දරුවන් ට පාසල් ඇරෙන වේලාව තෙක් එළියේ සිටිමට සිදුවී ඇත. 

එක වසරේ සිට පහ වසර දක්වා පන්ති පැවැත්වෙන මෙම විද්‍යාලයේ සිසුන් 57ක් සහ  ගුරුවරුන් 4ක් සිටින දුෂ්කර පාසලක් වේ. විද්‍යාලයේ දොරවල් විවෘත කරගැනීමට නොහැකි වි ළමුන් සහ ගුරුවරුන් පාසල් මිදුලට වි දහවල් දෙක වනතුරු සිටියද විදුහල්පති පැමිණ නැත.

මේ පිළිබදව මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයට දැනුම් දුන්නද විද්‍යාලය විවෘත කිරීම සඳහා කිසිදු පියවරක් ගෙන නැති අතර මහනුවර නගරයේ සිට කිලෝමීටර් 50ක් පමණ දුරින් ගලහ නගරයේ ඇති මෙම විද්‍යාලය වතු ආශ්‍රිත දෙමළ ළමුන් ඉගෙනුම ලබන දුෂ්කර පාසලක් වේ.

තමුන් කලක පටන් ස්ථානමාරුවක් ඉල්ලුවද බලධාරින් එය නොකිරීම නිසා එයට විරෝධය දැක්වීම සඳහා තමන් මෙම ක්‍රියාව කළ බව විදුහල්පති දේවේන්ද්‍රකුමාර් මහතා පවසා ඇතැයි වාර්තා වේ.