විදුලිය බිඳවැටීම සියය‍ට 75 ක් යථා තත්වයට


 

 


(ඩිල්ෂානි චතුරිකා දාබරේ)

කෙරවළපිටිය විදුලි බලාගාරයේ උප පොළක සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද(17) දහවල් කාලයේ සිට රට පුරා සිදුව ඇති විදුලිය බිඳ වැටීම මේ වනවිට 75%ක් පමණ යථා තත්වයට පත්කර ඇති බව  විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා පවසයි.

රට පුරා සිදුවූ විදුලි බිඳවැටීම පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

නොරොච්චෝලේ මෙගාවොට් 900ක විදුලි ධාරිතාව ගමන්කරන්නේද, කෙළවරපිටිය මෙගාවොට් 300ක ධාරිතාව ගමන්කරන්නේද, කෙළවර පිටිය විදුලි බලාගාරයේ ග්‍රිඩ් උප පොළ  හරහා බව පවසන සභාපතිවරයා, ප්‍රධාන විදුලි බලාගාරවල විදුලි ධාරිතාව මෙගාවොට් 1100ක් පමණ නැතිවූ විට අනෙක් විදුලි බලාගාර, එම ඉල්ලුමට සරිලන සැපයුම් ලබාදිය නොහැකිවීමෙන් විදුලිය ඇණ හිටින බව පැවසීය. අද දිනයේදී සිදුව ඇත්තේ ද එවැන්නක් බව සඳහන් කළ ඔහු මේ හේතුවෙන් ලංකාව පුරා සමස්ත විදුලි බලාගාරවල විදුලිය විසන්ධි වී ඇතැයි විස්තර කළේය. 

විදුලි සැපයුම යථා තත්වයට පත්කිරීමේ කටයුත්තේදී, පළමුව ජල විදුලි බලාගාර සියල්ල පණ ගන්වන බවද, අනතුරුව කැලණිතිස්ස ඇතුළු සෙසු විදුලි බලාගාර සිය සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයට සම්බන්ධ කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.

මේ වනවිට කොළඹ ප්‍රදේශ කිහිපයක, දකුණ පළාතේ සහ කුරුණෑගල යන ප්‍රදේශවලට විදුලිය සැපයුම් යථා තත්වයට පත්ව තිබෙන අතර, තවදුරටත් පිළිසකර කිරීමෙහි විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් කටයුතු කරමින් සිටින බවද, ඒ අතරතුර නැවතත් විදුලි විසන්ධි වීම් සිදුවන බවද ඒ මහතා පැවසීය.

මෑතකදී, රටේ ම විදුලිය සම්පූර්ණයෙන් බිඳ වැටී ඇත්තේ, 2016දී බවද හේරත් මහතා සඳහන් කළේය. මෙසේ රට පුරා විදුලිය බිඳවැටීම කලාතුරකින් සිදුවන තත්වයක් බැවින්ද, සියලු විදුලි බලාගාරවල ඉංජිනේරුවරුන් සහ විදුලි බල මණ්ඩලයේ කාර්ය මණ්ඩලය එක්ව විදුලි සැපයුම සම්පූර්ණයෙන් යථා තත්වයට පත්කිරීමට වෑයම්කරමින් සිටින බැවින් ද ඉවසීමෙන් කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව සභාපතිවරයා පැවසීය.

කෙසේවෙතත්, විදුලි බිඳවැටීම හේතුවෙන් මහජනතාවට සිදුව ඇති අපහසුතාවය පිළිබඳව විදුලි බල මණ්ඩලය ද කනගාටුව පළකර සිටී.