(මනෝප‍්‍රිය ගුණසේකර)
කොළඹ කුරුඳුවත්තේ සිය නිවසට විදුලිය හොරෙන් ලබා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් ද්විත්ව පුරවැසිභාවය සහිත මහා පරිමාණ ව්‍යාපාරිකයකුට රුපියල් 10,000ක දඩයක් නියම කළ මාලිගාකන්ද අතිරේක මහෙස්ත‍්‍රාත් අරුණි ආටිගල මහත්මිය විදුලිය හොරෙන් ලබා ගැනීම හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවු රුපියල් ලක්‍ෂ 16කට අධික පාඩුව ගෙවීමටද විත්තිකරුට අද (12) නියම කළාය.
වායු සමීකරණ යන්ත‍්‍ර හතක් සහ වතුර උණුකරන යන්ත‍්‍ර තුනක් ඇති විත්තිකරුගේ නිවසේ විදුලි බිල වශ්‍යයෙන් පසුගිය වසර ගණනාවක කාලයක් ගෙවා ඇත්තේ රුපියල් 2,000 ක පමණ බිලක් බවත් ඉන් ලංකා විදුලි බල මණ්ඩලයට විශාල පාඩුවක් සිදුවී ඇති බව කියමින් ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ යසන්ත පෙරේරා මහතා ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ මහෙස්ත‍්‍රාත්වරිය එලෙස නියම කළාය.
ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවු පාඩුව වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් ලක්‍ෂ 16ක මුදල කොටස් තුනකින් ගෙවීමට විත්තිකරුට අවසර දෙන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ තිලක් අත්තනායක මහතා ඉල්ලා සිටියත් ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ යසන්ත පෙරේරා මහතා ඊට විරුද්ධත්වය පළ කරමින් ද්විත්ව පුරවැසිභාවය හිමි මහා පරිමාණ ව්‍යාපාරිකයකු වන විත්තිකරු මෙම නිවස විකුණා දමා රටින් පිටව යෑමට හැකියාව ඇතැයි කියමින් ඉදිරිපත් කළ කරුණු පිළිගත් මහෙස්ත‍්‍රාත්වරිය ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවු රුපියල් 1,606,487. 26ක පාඩුව වහාම ගෙවීමට විත්තිකරුට නියම කළාය.
චෝදනාවට වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ කොළඹ 07, බුලර්ස් පටුමගේ පදිංචි ලක්සිරි ද සිල්වා මහතාටය.
විදුලි බල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ කළමණාකාර ඉන්දික ප‍්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම යටතේ විමර්ශන නිලධාරී ගාමිණි ප‍්‍රනාන්දු සහ සහකාර විමර්ශන නිලධාරීන් වන අධිකාරි පුෂ්පකුමාර සහ චානක යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකොට ඇත.