( උපාලි ආනන්ද )
උතුරු මැද පළාත් සභාව යටතේ ඇති පාසල් වල විදුලි අලුත් වැඩියා කිරීමේ කටයුතු සදහා නීති විරෝධීව පිරි නමා ඇති බව කියන රුපියල් කෝටි 10 ක් පමණ වටිනා කොන්ත‍්‍රාත් වලට අදාල සියලු ලිපි ගොනු උතුරු මැද පළාත් ආණ්ඩුකාර නීතිඥ එම්.ජී ජයසිංහ මහතාගේ නියෝගයක් මත විශේෂ විමර්ශනයක් සදහා උතුරු මැද පළාත් අභ්‍යන්තර විගණන හා විමර්ශන දෙපාර්තමේන්තුව බාරයට ගනු ලැබීය.
ශ‍්‍රි ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ උතුරු මැද පළාත් ශාඛාවේ සභාපති ජී බී ලෝහිතරත්න මහතා පළාත් ආණ්ඩුකාරවරයාට කරන ලද ලිඛිත පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව පළාත් ආණ්ඩුකාරවරයා පළාත් අභ්‍යන්තර විගණන හා විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට මෙම නියෝගය ලබාදී ඇත.
ශ‍්‍රි ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ උතුරු මැද පළාත් ශාඛාවේ සභාපති ජී බී ලොහිතරන්න මහතා ස්වකීය පැමිණිලි මගින් පළාත් ආණ්ඩුකාරවරයාට සහ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තවදුරටත් දැනුම්දී ඇත්තේ උතුරු මැද පළාත තුළ රජයේ ලියාපදිංචි කොන්ත‍්‍රාකරුවන් විශාල සංඛ්‍යාක් සිටියදී පළාතේ පාසල් වල විදුලි අළුත් වැඩියා කටයුතු වලට අදාල කොන්ත‍්‍රාත් පළාත් සභාවේ නිලධාරීන්ගේ හිතවතුන් පිරිසක් අතරේ රජයේ ප‍්‍රසම්පාදන නියමයන් බරපතල ලෙස උලල්ංඝණය කරමින් නීති විරෝධීව ලබාදී ඇති බවයි
මෙම දුෂිත ක‍්‍රියාවලියට උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යංශයේ උසස් නිලධාරියන් දෙදෙනකු සෘජුවම සමිබන්ධ වී ඇති බවද දැනුම්දී ඇති සභාපති ලෝහිතරත්න මහතා පළාත් ප‍්‍රධාන අමාත්‍යංශ නිලධාරියකගේ සහෝදරයාද කොන්ත්‍රාත්කරුවන් අතර සිටින බව සඳහන් කර ඇත.
එබැවින් මෙම නීති විරෝධී කොන්ත‍්‍රාත් ප‍්‍රදානය වාහාම අවලංගු කරන ලෙස පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා ඇති සභාපති ලෝහිතරත්න මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත්තේ මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙසයි.
මේ සම්බන්ධයෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාර නීතිඥ එම් ජී ජයසිංහ මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමේදී ඔහු ප‍්‍රකාශ කලේ නීතියට පටහැනිව පිරි නමා ඇති බව කියන කොන්ත‍්‍රාත් සම්බන්ධයෙන් විධිමත් කඩිනම් පරික්ෂණයක් සිදු කරන ලෙස තමා පළාත් අභ්‍යන්තර විගණන හා විමර්ශණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළ බවයි.
උතුරු මැද පළාත් අභ්‍යංතර විගණන හා විමර්ශන දෙපාර්තෙමින්තුවේ අධ්‍යක්ෂ නලීන් චමින්ද මහතාගෙන් දුරකථනයෙන් මේ ගැන විමසූ අවස්ථාවේ ඔහු පැවසුවේ ආණ්ඩුකාරවරයා ලබා දුන් නියෝගයකට අනුව නීති විරෝධීව ලබා දී ඇති බව කියන මෙම සිද්ධිය පිළිබඳව පරික්ෂණයක් පැවැත්වීම සදහා එම නීති කොන්ත‍්‍රාත් වලට අදාල සියලු ලිපි ගොනු පළාත් ප‍්‍රධාන අමාත්‍යංශයෙන් තමන් බාරයට ගත් බවයි. අදාල විමර්ශනය දැනටමත් අරඹා ඇති බවද ඔහු කීවේය.