විද්‍යෝදය සාහිත්‍ය සම්මාන පිරිනැමේ


(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වාර්ෂිකව සංවිධානය කරන ‘විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළ’ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාලයීය ශ්‍රී සුමංගල ශාලාවේදී අද (2) පස්වරුවේ පැවැත්විණි.

‘විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළ’ මෙවර පවත්වන ලද්දේ 12 වැනි වරට ය. මෙවර සම්මාන ප්‍රදානෝත්සවයේදී අංශ හතරක් යටතේ සම්මාන ප්‍රදානය කෙරුණි.

ඉකුත් වසරේ දී (2019) ප්‍රකාශයට පත් කෙරුණු කෘති අතුරින් විශිෂ්ටතම කෘති සඳහා මෙහිදි සම්මාන පිරිනැමේ. වසරේ ප්‍රශස්ත නවකතාව, වසරේ ප්‍රශස්ත කෙටි කතා සංග්‍රහය, වසරේ ප්‍රශස්ත පද්‍ය සංග්‍රහය සහ වසරේ ප්‍රශස්ත තීරු ලිපි සංග්‍රහය යන අංශවලට මෙහිදි සම්මාන පිරිනැමීමට නියමිතය.

ඒ අනුව වසරේ ප්‍රශස්ත නවකතාවට හිමි සම්මානය ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ ප්‍රකාශනයක් වන එරික් ඉලයප්ආරච්චි විසින් රචිත ‘පේත’ නවකතාවට හිමිවිය.

වසරේ ප්‍රශස්ත කෙටි කතා සංග්‍රහයට හිමි සම්මානය දිනාගත්තේ ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ ප්‍රකාශනයක් වන එරික් ඉලයප්ආරච්චි විසින් රචිත ‘විශ්‍රාමික පෙම්වතිය’ කෘතියයි.

වසරේ ප්‍රශස්ත පද්‍ය සංග්‍රහය සඳහා වන සම්මානය අජිත් තිලකසේන විසින් රචිත සරසවි ප්‍රකාශනයක් වන ‘මොන තරම් අවුලක් ද’ කෘතියට හිමිවිය.

වසරේ ප්‍රශස්ත තීරු ලිපි සංග්‍රහය සඳහා මෙහිදි සම සම්මාන පිරිනැමිණි. එහිදි ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ ප්‍රකාශනයක් වන අනුරසිරි හෙට්ටිගේ විසින් රචිත ‘කොළඹ කතා උසාවිය සාවිය’ සහ සරසවි ප්‍රකාශනයක් වන යසවර්ධන රුද්‍රිගු විසින් රචිත ‘යසයාගේ වාක්කිය’ කෘතිවලට එම සම්මානය හිමිවිය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයන අංශය මෙම උලෙළ සංවිධානය කළේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ, මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පීඨාධිපති මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද යන මහත්වරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලය, විද්‍යාර්ථීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

(ඡායාරූප - ඉෂාන් සංජීව)