විද්‍යා ඝාතන නඩුවේ චුදිතයන් 7 දෙනාගෙන් ඇපෑලක්



 
 
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
යාපනය, පුන්කුඩුතිවු ප‍්‍රදේශයේ පදිංචි සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් සිසුවිය දූෂණය කර මරා දැමීමේ චෝදනාවට වරදකරු වී යාපනය මහාධිකරණයෙන් මරණ දඬුවම නියම වී සිටින විත්තිකරුවන් හත්දෙනෙකු තමන් එම දඬුවමින් නිදහස් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති අභියාචනා පෙත්සම දෙසැම්බර් 13 වැනි දා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (9) දින නියම කළේය.
 
මෙම අභියාචනා පෙත්සම ඊවා වනසුන්දර ,නලින් පෙරේරා සහ ප‍්‍රසන්න ජයවර්ධන යන ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සළකා බැලිණි.
 
එම අභියාචනාවල කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එය කරුණු තහවුරු කිරීම සඳහා දෙසැම්බර් 13 වැනි දා කැඳවන ලෙස නියම කරන ලදී.
 
මෙම අභියාචන පෙත්සම් ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ පිල්ලෙයි නන්දන් කාෂන් හෙවත් චන්ද්‍ර ජීවදරන් කුෂාන්තන් ,පලනි රූපසිංහම් කුගනාදන් ,මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ශෂි කුමාර් , පූබාලසිංහම් ඉන්ද්‍රන් ,පූබාලසිංහම් ජයකුමාර් ඇතුළු හත් දෙනෙකු විසිනි.
 
අභියාචනා පෙත්සමේ මෙසේද සඳහන් වේ.
 
2015 වසරේ මැයි 13 වැනි දා යාපනය ප‍්‍රදේශයේ දී සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් සමූහ දුෂණයකට ලක් කර මරා දැමීමේ චෝදනාවට පෙත්සම්කාර විත්තිකරුවන් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා යාපනය මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
 
දීර්ඝ නඩු විභාගයකින් පසුව පසුගිය වසරේ  සැප්තැම්බර් 27 වැනි දින තීන්දුව ප‍්‍රකාශයට පත් කෙරිණි. ඉන් විත්තිකරුවන් දෙදෙනෙකු පමණක් නිදහස් කළ යාපනය මහාධිකරණය සෙසු විත්තිකරුවන් හත්දෙනාට මරණීය දණ්ඩනය නියම කරනු ලැබීය. ඊට අමතරව රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි ගෙවීමටද නියෝග කෙරිණි.
 
එසේ දඬුවම් නියම වූ විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටින්නේ තමන්ට මරණීය දණ්ඩනය නියම කිරීමට යාපනය මහාධිකරණය ගත් තීරණය නීතියට පටහැනි බවයි.