නාලක සංජීව දහනායක
දෙමළ ජනතාවට භීතියෙන් තොරව නිදහසේ සිටීමට නම් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත හිස එසවිය යුතු බවට වනිතා හා ළමා කටයුතු ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් රජය කඩිනමින් ක‍්‍රියාමාර්ග ගත යුතු බව ඒකාබද්ධ විපක්‍ෂය සඳහන් කරයි.
පසුගිය සතියේදී උතුරු පළාතේ ප‍්‍රදේශ කිහිපයකින් අවි ආයුධ හමුවීම හා උතුරේ කෝවිලක පෙරහැරක් සඳහා ඊළාම් කොඩි ප‍්‍රදර්ශනය කිරීම වැනි සිදුවීම් හේතුවෙන් ඇමැතිවරියගේ ප‍්‍රකාශය කිසිසේත්ම හුදකලා ප‍්‍රකාශයක් ලෙස සළකා බැහැර කිරීමට හැකියාවක් නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සියලූම දෙනා ඒකීය රාජ්‍ය ආරක්‍ෂා කරන බවට ප‍්‍රතිඥ්ඥා දෙන බවත් එම ප‍්‍රතිඥ්ඥාව කඩකරීමේදී ගත හැකි ක‍්‍රියාමාර්ග සම්බන්ධව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඉතාම පැහැදිලිවම සඳහන් වන බවත් ඔහු පැවසීය.
මෙවැනි ප‍්‍රකාශ සිදුකරන තැනැත්තන් සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග ගැනීමට රජයට හැකියාවක් නැති බවත් පසුගිය රජය සමයේදී මෙවැනි ප‍්‍රකාශයක් සිදුකළේ නම් මහින්ද රාජපක්‍ෂ මහතා එයට එරෙහිව කඩිනම් ක‍්‍රියාමාර්ග ගන්නා බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචිබොරැල්ල, වජිරාස‍්‍රමයේ දී අද (3) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මේ බව සඳහන් කළේය.