විජයකලාගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයට එජාපයෙන් කමිටුවක්


(අංජුල මහික වීරරත්න)

ළමා හා කාන්තා කටයුතු හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරනු ලැබ ඇත.

යාපනය වීරසිංහම් ශාලාවේදි පැවැති උත්සවයකදි කළ ප්‍රකාශයක් හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වී ඇති බවට පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් විරෝධතාවයක් පළ වූ අතර ඒ අනුව ඇය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සොයා බැලිමට මෙලෙස විනය කමිටුවක් පත් කරන ලදි.

විනය කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස එක්සත් ජාතික පක්ෂ සභාපති, මහා මාර්ග අමාත්‍ය කබිර් හෂිම්, අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරල හා රාජ්‍ය පාරිපාලන, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්ම මහත්මීන්  පත් කොට තිබේ.

විනය කමිටුව විසින් මේ කාරණය පිළිබඳ අධ්‍යයනය කොට හැකි ඉක්මණින් වාර්තාවක් ලබා දෙන ලෙසද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විනය කමිටුවට දැනුම් දි ඇත.