විජයකලා ගැන ඉදිරි පියවර නීතිපති උපදෙස්වලින් පසු - කතානායක


(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)

විජයකලා මහේෂවරන් මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලැබූ වහාම පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කරන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.

විජයකලා මහේෂවරන් මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් විමල් වීරවංශ  මන්ත්‍රීවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ බව පැවසූ කතානායකවරයා නීතිපතිවරයාගේ පරීක්ෂණ වාර්තාව ලැබෙන දිනය කවදා දැයි තමන්ට ප්‍රකාශ කළ නොහැකි බවද කීය.

කතානායකවරයා මේසේද කීය.

‘‘වීරවංශ  මන්ත්‍රීවරයා සඳහන් කළ උතුරේ ආරක්ෂක තත්ත්වය ගැන මට ප්‍රකාශයක් කරන්න බෑ. මම විජයකලා මහේෂවරන් මන්ත්‍රීවරිය පිළිබඳව  අවශ්‍ය උපදෙස් විමසා තිබෙනවා. නීතිපතිවරයා ඒ ගැන පරීක්ෂණ කරනවා. ඒ පරීක්ෂණ  වාර්තාව අද ලැබේද ලබන සතියේ ලැබේවිදැයි  කිව නොහැකි‘‘ යැයි ද කතානායකවරයා කිවේය.