විග්නේෂ්වරන් ගැන සුමන්තිරන් කළ ප්‍රකාශයට ඇතුළෙන්ම විරෝධය


සිරාජ් හසීම්

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගේ ධූරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා  පසුගියදා කළ  ප්‍රකාශයට දෙමළ ජාතික සන්ධානය තුළ දැඩි විරෝධයක් මතුව තිබේ.
 
මීළඟ පළාත් සභා මැතිවරණයේදී විග්නේෂ්වරන් මහතා  මහ ඇමති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් නොකරන බවට එම්.ඒ සුමන්තිරන් මහතා පසුගියදා යාපනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කර තිබුණි.
 
මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ප්ලොට් හා ටෙලෝ පක්ෂවල ජ්‍යෙෂ්ඨයින් සඳහන් කර සිටියේ මහ ඇමතිවරයා සමගින් ඇති විරසකය මත සුමන්තිරන් මහතා සිය පෞද්ගලික මතය මෙහිදී ඉදිරිපත් කර තිබෙන බවයි. එමෙන්ම ඔහු දරන එම මතයේ දෙමළ ජාතික සන්ධානයම නොසිටින බවයි.
 
මේ අතර ටෙලෝ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු වන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා සඳහන් කර සිටියේ නැවතත් ප්‍රධාන අමාත්‍යධූරයේ සිටීමට විග්නේෂ්වරන් මහතා එකඟ වන්නේ නම් ටෙලෝ සංවිධානය ඊට සහාය දක්වන බවය.
 
ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතාගෙන්  කරන ලද විමසුමකදී ඒ මහතා සඳහන් කර සිටියේ විග්නේෂ්වරන් මහතා පළාත් ප්‍රධාන අමාත්‍යධූරය සදහා සුදුසු පුද්ගලයෙකු බවත් ඔහු  මීළඟ මැතිවරණයේ මහ ඇමති අපේක්ෂකත්වයට යෙදවීම සම්බන්ධයෙන් මෙතෙක් දෙමළ ජාතික සන්ධානය  තීරණයක් ගෙන නොමැති බවයි.   සුමන්තිරන් මහතාගේ එම ප්‍රකාශය සිය තනි අදහසට සහ කැමැත්තට කරන ලද ප්‍රකාශයක් බව ද ඔහු කීවේය.
 
මේ අතර උතුරු පළාත් සභාවේ මැති ඇමතිවරුන්ගෙන්ද සුමන්තිරන් මහතාට විරෝධය මතුවී ඇති අතර දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමති අපේක්ෂකත්වයට විග්නේෂ්වරන් මහතාම යෙදවිය යුතු යැයි ඔවුහු අවධාරණය කර සිටිති.
 
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් මහතා ද මේ පිළිබද මාධ්‍යට අදහස් දක්වමින් සදහන් කර සිටියේ උතුරු පළාත් සභා මැතිවරණයේ මීළඟ මහ ඇමති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නැති බවයි.