විගණන පනත ගේන්න ප්‍රමුඛත්වය දෙන්න


විනීතා එම් ගමගේ
 
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ප්‍රමුඛත්වය දෙනවාට වඩා ජාතික විගණන පනත ගෙන එන්නට ප්‍රමුඛත්වය දෙන්නැයි සියලු පාර්ශ්වයන් ගෙන් ඉල්ලා සිටින බව දූෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමියෝ පැවැසූහ.  

 
විසිවන සංශෝධනය ලෙස සංශෝධන රහිතව විගණන පනත ගෙනෙන්නැයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නැයි කියන ජනතා විමුක්ති පෙරමුණෙන් තමන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ පැවැසුහ. 
 
සුමංගල හිමියෝ මේ අදහස් පළ කළේ රාජගිරියේ දී අද පැවැති මාධ්‍ය හමුවක දීය. දූෂණ විරෝධී පෙරමුණෙන් කැඳවා තිබු එම මාධ්‍ය හමුවේ දී තව දුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ ද කීහ.
 
‘‘නීතිය ක්‍රියාත්මක කරන්න රටට මේ පනත් ඕනෑ. ඒ වෙනුවෙන් කැප වන ලෙස අපි සියලු ජනතා නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටිනවා. 
 
රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයාට අපේ බලවත් අප්‍රසාදය පළ කරනවා. ඔහු දේශද්‍රෝහියෙක් ලෙස සැළකිය යුතුයි. ඔහු රණවිරුවන් ගැන  කළ ප්‍රකාශ දේශද්‍රෝහී ප්‍රකාශයි. එය රාජිත සේනාරත්න ලෙස කළ ප්‍රකාශයක් නම් කමක් නැහැ. එදා සිට යුදධය දුටු ඊට මුහුණ දුන් කෙනෙක් වුණ ඔහු ඒ  ප්‍රකාශය කළේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙසයි. මේ වගේ දේශද්‍රෝහී ප්‍රකාශ කරන කෙනෙක් මේ මාධ්‍ය ප්‍රකාශක පුටුවේ ඉඳගත යුතු නැහැ. ඒ වගේම මේ වගේ නුසුදුසු ප්‍රකාශ කිරීමට රජයේ බලධාරින් ඉඩ දීම පිළිබඳවත් බලවත් අප්‍රසාදය පළ කරනවා. 
 
ඉකුත් මාධ්‍ය හමුවේ දී අපි හෙලිකළා පර්පෙචුවෙල්  ට්‍රෙෂරීස් පවුලට අයත් මෙන්ඩිස් සමාගම ගෙවීම පැහැර හැරලා කියලා. මේ මෙන්ඩිස් සමාගමේ බලපත්‍ර දීම අත්හිටුවලා තිබුණා. දැන් හිටි අඩියේ මේ හිඟමුදල යුවලක් ගෙවල තියෙනවා. 
 
ඒ අනුව කෝටි 400 කට වැඩි මුදලක් මේ තරම් ප්‍රමාණයක් මුදල්  පරිහරණය කරන කෙනෙක්  නම් ඒ අය බදු මුදල් ගෙවා ඇත්දැයි බැලිය යුතුයි. ඒ වගේම හෙලිවෙලා තිබෙනවා මෙන්ඩිස් සමාගමේ මුදල් දේශපාලකයන්ට දුන් බව. කෝප් සාමාජිකයන්ට පවා පගාව දීල තිබෙනවා. මේ මුදල් එන හැටි හොයා බලන්න කියා අපි ජනාධිපතිතුමන්ගෙන් අගමැතිතුමන්ගෙන් ඉල්ලා සිටිනවා.‘‘