විකෘති ප්‍රභේද ගැන අද සිට විශේෂ පරීක්ෂණ


(සුජිත් හේවාජුලිගේ )

ලෝකයේ විවිධ රටවල පැතිර ඇති වෙනස් විකෘති කොරෝනා ප්‍රභේද ශ්‍රී ලංකාවේ ද ව්‍යාප්තව ඇත්දැයි සොයාගැනීම සඳහා වූ පරීක්ෂණ අද (27 )ආරම්භ කෙරෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්ති වේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන් දර මහතා පවසයි.

මේ සඳහා විදේශයෙන් ආනයනය කෙරුණු විශේෂිත පී සි ආ ර් කට්ටලය මෙරටට ඊයේ (26 ) ලැබුණු බවද ඔහු කියයි .

මේ පරීක්ෂණය මගින් හඳුනා ගැනෙන්නේ ලෝකයේ රටවල් කිහිපයක පැතිර ඇති වෙනස් විකෘති වෛරස ප්‍රභේද පහක් ය .

මෙයට අමතරව ශ්‍රී ලංකාවේ පැතිර ඇති සෑම විශේෂිත වෛරසයක් ම හඳුනා ගැනීමේ පරීක්ෂණද අද (27)ආරම්භ කරන බව පැවසූ ජීව න්දර මහතා මෙම සියලුම පරීක්ෂණ වල ප්‍රතිඵල මේ සතියේ දී නිකුත් කිරීමට හැකි වනු ඇතැයි ද විශ්වාසය පළ කළේය .

පරීක්ෂණ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සහ සාම්පල සූදානම් කර ඇතැයි ද ඔහු කීය .

ආචාර්ය චන්දිම ජීව න්දර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් මේ පරීක්ෂණ සඳහා සූදානම්ව සිටින බවත් පරීක්ෂණ අවසන් කළ වහාම එම පරීක්ෂණවල අවසන් වාර්තා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බාරදීමට නියමිත බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය පවසයි .