වෑන් රිය ගසක වැදී අයෙක් මරුට :5කට තුවාල


(කේෂර ගුණතිලක)

තණමල්විල වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේ දෙසීය අසූඅට කණුව අසලදී අද (03) අලුයම වෑන් රියක් ගසක හැපි සිදු වූ අනතුරකින්  වෑන් රථයේ සිටි පුද්ගලයෙකු මිය ගොස් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

තණමල්විල දෙස සිට වැල්ලවායට දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථය වේගය පාලනය කර ගැනීමට නොහැකිව පාරෙන් ඉවතට ගොස් අඹ ගසක සහ තේක්ක ගසක ගැටී  අනතුර සිදුවී ඇත.

වෑන් රථයේ රියදුරු අසුනට පිටුපස අසුනේ සිටි අයෙකු බරපතළ තුවාල ලබා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ දඹුල්ල,ඩී හතර ඇල පදිංචි කුලවර්ධන රාළහාමිලාගේ වංශතිලක (56) නැමති අයෙකි. තුවාල කරුවන් පස් දෙනාගෙන් තිදෙනෙකු හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේද දෙදෙනෙකු තණමල්විල ප්‍රාදේශීය රෝහලේද ප්‍රතිකාර ලබමින් පසු වේ.