(නාලක සංජීව දහනායක)
කොළඹ 02, ස්ටුවර්ට් වීදියේ වෑකන්ද නිවාස යෝජනා ක‍්‍රමයේ ගොඩනැඟිලි ඉතාම අවදානම් තත්ත්වයක පවතින බැවින් එහි ජීවත්වන පවුල් 114කට අයත් 700ක් පමණ පිරිස වහාම ඉවත් කර ඔවුන් සුරක්‍ෂිත ස්ථාන කරා යොමුකරන ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය හා වැඩබලන ආපදා කළමනාකරණ අමාත්‍ය රංජීත් සියඹලාපිටිය මහතා අදාළ අංශ වෙත අද (25) උපදෙස් දුන්නේය.
මෙම ගොඩනැඟිලි අනාරක්‍ෂිත තත්ත්වයක පවතින බවට 2012 වසරේදී ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය ද විසින් වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බවද අමාත්‍යවරයා කීය.
වෑකන්ද නිවාස යෝජනා ක‍්‍රමයේ පවතින අවදානම් තත්ත්වය පිළිබඳව ඊයේ (25) ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
1974 වර්ෂයේ ඉදිකර තිබෙන මෙම නිවාස යෝජනා ක‍්‍රමයේ මේ වනවිට පවුල් 114 ක් ජීවත් වන අතර ඊට අමතරව තවත් පවුල් 36ක් පමන අනවසරයෙන් පදිංචිව සිටින බව ආපදා කළමනාකරණ අමාත්‍යංශය සඳහන් කරයි.
නිවාස සංකීර්ණයෙන් ඉවත් කරන පිරිස වෙනුවෙන් තාවකාලික වාසස්ථාන ලබාදීම වෙනුවෙන් අවශ්‍ය ප‍්‍රතිපාදන ලබාදීම සඳහා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරන බවත් හැකි ඉක්මනින් ඔවුන්ට ස්ථීර නිවාස ලබාදෙන බවත් අමාත්‍යවරයා පැවැසීය.
කොළඹ දිස්ත‍්‍රික් ලේකම්, නිවාස, ආපදා කළමනාකරණ අමාත්‍යංශය හා නාගරික සංවර්ධන අධිකාරිය, ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.