(රෝහණ සමරවීර සහ චාමින්ද දිසානායක)
වැලිගෙපොල පොලිසියේ පෙරනිමි ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය පොලිස් භට නිවාසය (බැරක්කය) හා එයට යාබඳව පිහිටි පොලිස් ස්ථානාධිපති වරයාගේ කාමරය ගිනි ගෙන සම්පූර්ණයෙන් විනාශයට පත්වී ඇත.
පොලිස් නිලධාරීන් 20ක පමණ සංඛ්‍යාවක් එහි දිවා රාත්‍රී කල් ගත කරන බවත් එම ගින්න හටගත් අවස්ථාවේ නිලධාරීන් කිසිවෙක් එතුළ නොසිටි බවත් වැලිගෙපොල පොලිසිය කියයි.
ගින්න හටගත් අවස්ථාවේ වහා ක්රීයාත්මක වූ එහි සිටි නිලධාරීහු පිරිස ප්‍රදේශ වාසීන් සමග එක්වී ගින්න නිවීමට උත්සහ ගත්හ.ඒ අතරතුර බලංගොඩ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවන රථය පැමින ගින්න අනෙක් ගොඩනැගිලි වලට පැතිර යාමට ඉඩ නොදී නිවා දැමීමට කටයුතු කරනු ලැබීය.
තහඩු, දොර ජනෙල්, විදුලි පංකා, විදුලි ලාම්පු ගින්නෙන් දැඩි ලෙස විනාශයට පත්වී තිබූණි.එම ගොඩනැගිල්ලෙහි තිබූණු ඇඳන් දහයක් පමණ ප්‍රමාණයක් ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට, පොලිස් නිලධාරීන්ගේ නිළ ඇඳුම්, සිවිල් ඇදුම්, පාවහන්, මුදල්, වටිනා පෞද්ගලික ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් ගින්නට හසුව ඇති බවද පොලිස් නිලධාරීහු පැවැසූහ.
ගින්න හටගත් දින පස්වරු 12.30 ට පමණ වැලිගෙපොල ප්‍රදේශයටද විදුලිය බිඳ වැටීමක් සිදුව තිබුණ අතර එදින රාත්‍රි 8.00 ට පමණ නැවැත විදුලිය යථා තත්ත්වයට පත්වී පැයක් ගත වීමටත් පෙර එම ගින්න හටගත් බව පොලිසිය පවසයි.
ගින්න කෙසේ හටගත්තේද යන්න ඉදිරි පරීක්ෂණ සිදු කරන බව පොලිසිය කියයි.


(ඡායාරූප - රෝහණ සමරවීර)


(ඡායාරූප -චාමින්ද දිසානායක)

