වැලිකන්ද රෝහලෙත් ආසාදිතයන්ට නවතින්න පහසුකම්


(නිමල් ජයරත්න)

 

කොරෝනා ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරිමට වැලිකන්ද මුලික රෝහල අති නවීන පහසුකම් සහිතව රෝගීන්ට අවශ්‍ය සියලු පහසුකම් සැපයීම සදහා අද (18) ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ කණ්ඩායමක් එහි කටයුතු කඩිනමින් සිදු කරමින් පවතී.

ඒ අනුව වායු සමිකරණ, කාමර ඇදන්, සන්නිවේදන සහ අන්තර්ජාල පහසුකම් ඇතුළු රෝගීන්ට අවශ්‍ය සියලු වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම ආහාරපාන ද මෙම රෝහලින් සපයා දෙන බව නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ උසස් හමුදා නිලධාරියකු ප්‍රකාශ කළේය.

රෝගීන්ට මෙන්ම එම පරිසරයේ සැරිසරන කිසිදු අයෙකුට රෝගී වයිරසය වැළදීයාමට නොහැකි පරිදි ප්‍රතිසංස්කරණ රෝගී ප්‍රතිකාර කාමර තුළින් පිටතට හෝ ඇතුළතට සුලන් පොදක්වත් එන යන නොහැකි ආකාරයෙන් එම කාමර අලුත්වැඩියා කරන බවත් රෝගීන් පරික්ෂාවට පැමිණෙන වෛද්‍යවරුන්ට ද පිටවී යැමේදී ශරිරය පිරිසිදු කරගෙන යෑමට අවශ්‍ය පහසුකම් රෝහල තුළ යුද හමුදාව විසින් සපයා ඇති බවද එම නිලධාරියා පැවසීය.

මෙම රෝහලේ මුලිකව රෝගීන් 50 කට ආසන්න ප්‍රමාණයක් නේවාසික ප්‍රතිකාර කිරිම් සදහා අවශ්‍ය පහසුකම් සපයා තිබේ. කොරෝනා ආසාදිතයින් වෙනත් රෝහල් වලින් රැගෙන එන ආකාරයට ඔවුනට අවශ්‍ය සියලු පහසුකම් ලබා දිමට ද යුද හමුදාවේ  විශේෂ කණ්ඩායම් සුදානමින් සිටින බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.