වැලිකඩට හෙරොයින් ගෙන ගිය කත දිවි ඇති තෙක් හිරේට


(මනෝප‍්‍රිය ගුණසේකර)

ටෙනිස් බෝලයක දමා වැලිකඩ බන්ධනාගාරය තුළට හෙරොයින් ග්‍රෑම් තුනක් විසී කිරීමේ හා කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු කොළඹ සීවලීපුර ප‍්‍රදේශයේ කාන්තාවකට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (11)  නියම කළාය.

වැලිකඩ බන්ධනාගාරය තුළට දිගින් දිගට හෙරොයින් විසී කිරීම හේතුවෙන් ඒ පිළිබඳව රැක සිටි මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීහු සිදුකළ විමර්ශනයකදී මීට වසර 07 කට පෙර වැලිකඩ බන්ධනාගාරය තුළට හෙරොයින් පිරවු ටෙනිස් බෝලයක් විසී කිරීමේදී විත්තිකාර කාන්තාව කොටු කරගෙන තිබු අතර ඇයට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් විනිසුරුවරිය ඇයට මෙලෙස දඬුවම් නියම කළාය.

චෝදනාවන්ට වරදකාරිය වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ කොළඹ සීවලීපුර ප‍්‍රදේශයේ (වැලිකඩ බන්ධනාගාරය අසළ)  පදිංචි හිරුණි අල්විස් නමැති 33 හැවිරිදි විවාහක කාන්තාවකටය.

2011 ජනවාරී මස 20 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ සීවලීපුර ප‍්‍රදේශයේදී හෙරොයින් ග්රූම් 3.15 ක් ලඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකාරියට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකදී වැලිකඩ බන්ධනාගාරය තුළට දිගින් දිගට ටෙනිස් බෝල ඇතුළු විවධ ද්‍රව්‍ය වල සැගවු හෙරොයින් තොග පිටින් වීසී කිරීම නිසා ඒ පිළිබඳව බන්ධනාගාර නිලධාරීන්ගේද සහය ඇතිව වැටලීම් කළ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීහු රැක සිට සිදුකළ මෙහෙයුමකදී ටෙනිස් බෝලයක් තුළට හෙරොයින් දමා විසී කිරීමේදී මෙම විත්තිකාර කන්තාව අල්ලා ගෙන තිබු බව නඩු විභාගයේදී අනාවරණය විය.

විත්තිකාර කාන්තාවට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරිය ඇයට හෙරොයින් ජාවාරම් කිරීමේ හා හෙරොයින් ලඟ තබාගැනීමේ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කොට ඇයට ඒ සඳහා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කළාය.