වැලිඔය ළමා අපයෝජන සිද්ධියේ සැකකාර කොස්තාපල්ට ඇප


( උපාලි ආනන්ද)

වැලිඔය පොලිස්   අත් අඩංගුවේ  සිටි  15 හැවිරිදි බාල වයස්කාර පිරිම් දරුවෙකු  පොලිස් ස්ථානය තුළදීම  බරපතල ලෙස අපයෝජනය කිරීමේ  සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන මාස එකහාමාරකට ආසන්නකාලයක්    රිමාන්ඞ් බාරයට පත් කර සිටි  සැකකාර පොලිස් කොස්තාපල්වරයා  රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස  නියෝග කළ  කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ   මහේස්ත‍්‍රාත් මාලින්ද  හර්ෂ ද  අල්විස්  මහතා ඇපකරුවන් සැකකරුගේ ළගම ඥාතීන් විය යුතු බවටද නියෝග කළේය.

ලබන සැප්තැම්බර් මස 5 වන දින යළි පදවිය සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ  පෙනී සිටින ලෙසටද විනිසුරු අල්විස් මහතා සැකකරුට තවදුරටත් නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල පදවිය සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ  අද (21) කැඳවූ අවස්ථාවේදී  සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජයලත් අබේසිංහ මහතා කළ ඇප ඉල්ලීමක් සලකා බලමින් සැකකරුට අද (21)  මෙසේ ඇප නියම කෙරිණි.

මෙලෙස ඇප මත මුදා හැරියේ වැලිඔය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කල පොලිස් කොස්තාපල් (58918)  අජිත් නැමැත්තෙකි.

15 හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවා අපයෝජනයට ලක්ව වූ බව කියන දින රාත‍්‍රියේ මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා වැලිඔය පොලිස් ස්ථානයේ  දුරකථන ක‍්‍රියාකරු ලෙස සේවය කර ඇති බව පදවිය සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අනාවරණ  වී තිබිණි.

එම 15 හැවිරිදි පිරිමි දරුවා පරිවාස බලධාරීන්ට  සහ අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනියට සිද්ධිය පිළිබඳව  මුල් ප‍්‍රකාශය ලබා දෙමින් පවසා ඇත්තේ තහඩු සොරකම් කිරීමේ චෝදනාවකට තමන් වැලිඔය පොලිසිය මගින් පසුගිය මැයි මස 8 දා අත් අඩංගුවට ගත් බවයි .

එසේ අත් අඩංගුවට ගෙන පසු දින පදවිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තුරු තමා වැලිඔය  පොලිසිය තුළ රඳවා තබා ගත් බවද ප‍්‍රකාශ කර ඇති අපයෝජනයට ලක් වූ දරුවා එදින රාත‍්‍රියේ  වැලිඔය පොලිසිය  තුළ සිටියදි එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු විසින් තමන් බරපතල ලෙස අපයෝජනය කළ බවද සදහන් කර තිබේ.