(උපාලි ආනන්ද සහ පියදාස සමරවීර)
වැලිඔය පොලිස් අත්අඩංගුවේ සිටියදී 15 හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවෙකු පොලිස් ස්ථානය තුළදීම බරපතල ලෙස අපයෝජනය කිරීමේ සිද්ධිය සමිබන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ පොලිස් කොස්තාපල්වරයෙකු ජූනි මස 6 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් මනෝජ් ප‍්‍රභාකරන් මහතා නියෝග කළේය.
මෙම සිද්ධියට අදාල පැමිණිල්ල අද (30) පදවිය සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මහේස්ත‍්‍රාත් ප‍්‍රභාකරන් මහතා මෙසේ නියෝග කළේය.
වැලිඔය පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් අජිත් නැමැත්තෙක් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
15 හැවිරිදි බාල වයස්කනාර පිරිමි දරුවා අපයෝජනයට ලක්ව වූ බව කියන දින රාත‍්‍රියේ මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා වැලිඔය පොලිසියේ දුරකථන ක‍්‍රියාකරු ලෙස සේවය කර ඇති බව අධිකරණයේදී අනාවරණ විය.
ජූනි මස 6 වන දින මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා හදුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර බන්ධනාගාර අධිකාරි කිත්සිරි බංඩාර මහතාට නියෝග කළ මහේස්ත‍්‍රාත්වරයා විසින් අපයෝජනයට ලක්ව ඇති දරුවා එදිනට අධිකරණයට රැගෙන එන ලෙස පරිවාස නිලධාරීන්ටද නියෝග කරනු ලැබීය.
පැමිණිල්ල වෙනුවෙන් මෙදින අධිකරණය හමුවේ පෙනී සිටි මුලතිව් සහකාර පොලිස් අධිකාරි මයුර පෙරේරා මහතාට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ අපයෝජනයට ලක්ව සිටින දරුවාගෙන් සිද්ධිය පිළිබඳව පරිවාස නිලධාරීන් ඉදිරියේ ප‍්‍රකාශ සටහන් කර ගන්නා ලෙසයි.
දරුවා අපයෝජනයට ලක් වූ අවස්ථාවේ ඇද සිටි ඇදුම් මේ වන තෙක් පොලිස් පරික්ෂණ කටයුතු සදහා යොදා නොගැනීම පිලිබඳව පොලිසියේ ක‍්‍රියා කලාපය දැඩි දෝෂ දර්ශනයට ලක් කළ විනිසුරු ප‍්‍රභාකරන් මහතා විමර්ශනයක් සිදු කිරීමේදි එවැනි කටයුතු සදහා වෙනම අධිකරණ නියෝග පොලිසියට අවශ්‍ය නොවන බවටද පොලිසියට තරයේ දැන්වීය .
අපරාධය සමිබන්ධයෙන් විමර්ශන සිදු කරන පොලිස් නිලධාරීන්ට තවදුරටත් නියෝග කළේ අපයෝජනයට ලක්ව සිටින දරුවාගේ දෙමව්පියන්ට බලපෑමේ නොකරන ලෙසයි .