( උපාලි ආනන්ද සහ පියදාස සමරවීර)
වැලිඔය පොලිසියේ අත් අඩංගුවේ සිටි 15 හැවිරිදි බාල වයස්කාර පිරිම් දරුවෙකු වැලිඔය පොලිස් ස්ථානයතුලදීම බරපතල ලෙස අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය රිමාන්ඩ් බාරයට පත් කර සිටින පොලිස් කොස්තාපල්වරයා මේ මස 13 වන දින දක්වා තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස කැබිතිගොල්ලෑව වැඩ බලන මහේස්ත‍්‍රාත් නිලූකා ප‍්‍රියදර්ශනී මහත්මිය නියෝග කළාය.
මෙම සිද්ධියට අදාල පැමිණිල්ල අද (6) පදවිය සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේ වැඩ බලන මහේස්ත‍්‍රාත්වරිය මෙසේ නියෝග කරනු ලැබුවාය.
මෙලෙස තවදුරටත් රිමාන්ඞ් කලේ වැලිඔය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් (58918) අජිත් නැමැත්තෙකි.
15 හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවා අපයෝජනයට ලක්ව වූ බව කියන දින රාත‍්‍රියේ මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා වැලිඔය පොලිස් ස්ථානයේ දුරකථන ක‍්‍රියාකරු ලෙස සේවය කර ඇති බව පදවිය සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අනාවරණ විය.
දැනට බන්ධනාගාරයේ පසු වන මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා මේ මස 13 වන දින හදුනා ගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර බන්ධනාගාර අධිකාරි කිත්සිරි බංඩාර මහතාට මෙදින නියෝග කළ වැඩ බලන මහේස්ත‍්‍රාත්වරිය අපයෝජනයට ලක්ව ඇති බව කියන දරුවාද එදිනට අධිකරණයට රැගෙන එන ලෙස කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පරිවාස නිලධාරීන්ටද නියෝග කරනු ලැබීය.
වැලිඔය පොලිසිය තුළදී අපයෝජනයට ලක්ව ඇති බව කියන 15 හැවිරිදි පිරිමි දරුවා පරිවාස බලධාරීන්ට සහ අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනියට සිද්ධිය පිළිබඳව මුල් ප‍්‍රකාශය ලබා දෙමින් පවසා ඇත්තේ තහඩු සොරකම් කිරීෙමි චෝදනාවකට තමන් වැලිඔය පොලිසිය මගින් පසුගිය මැයි මස 8 දා අත් අඩංගුවට ගත් බවයි.
එසේ අත් අඩංගුවට ගෙන පසු දින (9) පදවිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තුරු තමා වැලිඔය පොලිසිය තුළ රඳවා තබා ගත් බවද ප‍්‍රකාශ කර ඇති අපයෝජනයට ලක් වූ දරුවා එදින රාත‍්‍රියේ වැලිඔය පොලිසිය තුළ සිටියදි එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු විසින් තමන් බරපතල ලෙස අපයෝජනය කල බවද සදහන් කර ඇත.